අන්තර් පළාත් තරගාවලියේ පසු විපරම

Thanathillen Eha_1

කොළඹ සහ ගාල්ල කණ්ඩායම් සම සූරයන් බවට පත්වෙමින් බ්‍රහස්පතින්දා (අප්‍රේල් 11) නිමාවට පත්වූ සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලිය පිතිකරුවන් කිහිපදෙනෙකුම ලකුණු අතරට පැමිණි එහෙත් පන්දු යවන්නන් බලාපොරොත්තු වූ තරම් දස්කම් නොපෙන්වූ තරගාවලියක් ලෙස දක්නට ලැබිණි.

ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ මැතිව්ස් සහ ළහිරු තිරිමාන්න තරගාවලියේ ශතක ලාභියෝය. කොළඹ කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය මූලික වටයේදී මහනුවර පිල සමග ලකුණු 115ක්ද දඹුල්ල නායක ඇන්ජලෝ මැතිව්ස් තෙවන ස්ථානය සඳහා මහනුවර සමග තරගයේදී ලකුණු 101ක්ද අවසාන තරගාවලියේදී ගාල්ල උපනායක ළහිරු තිරිමාන්න කොළඹ සමග ලකුණු 115ක්ද රැස් කළහ. මහනුවර නායක දිමුත් කරුණාරත්න ගාල්ල සමග ලකුණු 35ක්ද කොළඹ සමග ලකුණු 44ක්ද දඹුල්ල සමග ලකුණු 86ක්ද ලබා එක්දින තරගාවලද තම හැකියාවන් මනාව ප්‍රදර්ශනය කළේය. තිරිමාන්න ශතකයට අමතරව දඹුල්ල සමග ලකුණු 82ක්ද ලබා ලෝක කුසලාන තරගාවලියේ ස්ථානයක් ලබා ගැනීමට වැදගත් මෙහෙවරක් ඉටුකළේය.

තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස ධනංජය ද සිල්වා දැක්වු දක්ෂතා විශේෂයෙන්ම කැපීපෙනිණි. දකුණු අප්‍රිකා සංචාරයේ කැපී පෙනුණු දක්ෂතා දැක්වූ වනිදු හසරංග අන්තර් පළාත් තරගාවලියේ දීද පිත්තෙන් හා පන්දුවෙන් දස්කම් අතරට පැමිණියේය.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල ශ්‍රී ලංකා පිතිකරුවන් පස්දෙනකුම පාහේ සඹ්පූර්ණයෙන් අසාර්ථක වීම දැඩි අවධානයට යොමුවිය යුතු කරුණකි. ආරම්භක පිතිකරුවන් පස්දෙනාකුවන ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග, ඕෂද ප්‍රනාන්දු හා අවිශ්ක ප්‍රනාන්දු මේ තරගාවලියේ දී ලකුණු අතරට පැමිණියේ නොමැත. මැද පෙළ පිතිකරුවන් වන කුසල් මෙන්ඩිස් එක තරගයකදී පමණක් මහනුවර සමග ලකුණු 65ක් ලැබූ අතර සෙසු තරග වලදී ලකුණු අතරට පැමිණියේ නැත. තිසර පෙරේරා දඹුල්ල සමග තරගයේදී ලකුණු 25කට කඩුලු හතරක් දවාලූවත් මැද පෙළ පිතිකරුවකු ලෙස වේගවත් පිතිහරඹ එකම අවස්ථාවක හෝ ඔහුගෙන් දක්නට නොලැබිණි. කෙසේ වුවද මේ පිතිකරුවනට අත්දැකීම් හා පළපුරුද්ද මත ලංකා කණ්ඩායමේ අවස්ථාවක් ලැබූණහොත් එංගලන්තයේ වේග තණතිලි වල දක්ෂතා පෙන්වීමට ඉඩ ඇත.

භානුක රජපක්ෂ, ඇන්ජලෝ පෙරේරා, ඉෂාන් ජයරත්න,ෂෙහාන් ජයසූරිය, සදුන් වීරක්කොඩි,සධීර සමරවික්‍රම, සංගීත් කුරේ හා ජීවන් මෙන්ඩිස් කෙරෙහිද අවධානය යොමු කළ යුතුව තිබේ. පන්දු යැවීමේදී ගාල්ල නායක ලසිත් මාලිංග මහනුවර සමග ලකුණු ප්‍රථම තරගයේදී ලකුණු 49කට කඩුලු හතක් දවාලීම අකිල ධනංජය (කොළඹ) ගාල්ල සමග ලකුණු 53කට කඩුලු පහක් දවාලීම ජීවන් මෙන්ඩිස් හා තිසර කඩුලු හතර බැගින් දවාලීම හොදම පන්දු යැවීමය. සමස්තයක් ලෙස පන්දු යැවීම හා රැකීම මීට වඩා අනිවාර්යයෙන් දියුණු විය යුතුය.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-