අන්තර් පළාත් සුපිරි හතර එක්දින අවසාන තරගය ඉරිදා

Thanathillen Eha_1

අයහපත් කාලගුණය මත කල් දැමුණු අන්තර් පළාත් සුපිරි හතර ඕවර 50 ක්‍රිකට් තරඟාවලියේ අවසාන මහා තරඟය ජුනි 10 (ඉරිදා) දිවා කාලයේ තරඟයක් ලෙස පැවැත්වීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ අන්තර් පළාත් සුපිරි හතර ඕවර 50 අවසාන මහා තරඟය පසුගිය මැයි 20වැනිදා කොළඹ හා ගාල්ල කණ්ඩායම් අතර මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී දිවා – රාත්‍රි තරඟයක් ලෙස  විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිතව තිබුණත් එම දිනවල පැවැති අධික වර්ෂාව මත එය කල් දැමිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම (ටෙස්ට්) පසුගිය 25වැනිදා බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි ටෙස්ට් තරඟ තුනක සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය හෙයින් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් පස්දෙනෙකුගේ සේවය කොළඹ හා ගාල්ල පළාත් කණ්ඩායම් දෙකට අහිමිවේ. කොළඹ කණ්ඩායමට මෙලෙස සේවය අහිමි වන්නේ ටෙස්ට් කණ්ඩායමේ නායක හා කොළඹ කණ්ඩායම් නායක දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා සහ දිල්රුවන් පෙරේරාය. ගාල්ල කණ්ඩායමට රොෂේන් සිල්වාගේ සහ සුරංග ලක්මාල්ගේ සේවය අහිමි වේ.

Shammu Ashan and Dasun Shanaka SLC Super Provincial One Day Tournament

ඉරිදා (ජුනි 10) පැවැත්වෙන අවසාන මහා තරඟයේ ජයග්‍රාහි කණ්ඩායමට රුපියල් දස ලක්ෂයක්ද, අනු සූරයන්ට රුපියල් හත් ලක්ෂ පණස්දහසක්ද, තරඟාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට රුපියල් ලක්ෂ දෙකක්ද, තරඟාවලියේ දක්ෂම පිතිකරුට හා පන්දු යවන්නාට රුපියල් ලක්ෂය බැගින් ද අවසාන තරඟයේ වීරයාට පණස් දහසක් ද පිරිනැමේ.

තුන් ඉරියව්වේම දස්කම්පාන ක්‍රීඩක තිසර පෙරේරා කොළඹ කණ්ඩායමේත් ආරම්භක උපුල් තරංග ගාල්ල කණ්ඩායමේත් නායකත්ව දරති. ගාල්ල කණ්ඩායම රොෂේන් සිල්වා සහ සුරංග ලක්මාල් වෙනුවට සඳුන් වීරක්කොඩි සහ ළහිරු මිලන්ත ක්‍රීඩාකරවන බව ගාල්ල කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හෂාන් තිලකරත්න පවසයි. අපේ කණ්ඩායම සුපිරි හතර සිව්දින තරඟාවලියත් ජයගත්තා.කණ්ඩායමේ සියළු ක්‍රීඩකයන්ගේ ඒකායන අරමුණ එක්දින තරඟාවලියක් ජයගැනීම යැයි හෂාන් තිලකරත්න පවසයි.

කොළඹ කණ්ඩායමේ පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන පවසන්නේ අයහපත් කාලගුණය මත කණ්ඩායමේ පුහුණුව ගෘහස්ථ ක්‍රීඩාගාරයට සීමාවූ බවයි. අපේ කණ්ඩායමට තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඇතුළත්වනවා. අපේ පරමාර්ථය අවසාන තරඟය ජයගැනීමයැයි අවිශ්ක පවසයි.

-බන්දුල මොල්ලිගොඩ-

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-