අපේ ක්‍රිකට් වංශ කතාව වෙනස් කළ ලසිත් මාලිංග

Thanathillen Eha_1

බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයේ මුහුදු වෙරළේ සහ මහපාරේ කුඩා කළ ක්‍රිකට් ක්‍රීඩා කළ ක්‍රීඩකයන් සියල්ලම පසු කළෙක ඔවුන්ගේ ජාතික පිල නියෝජනය කරමින් ජාතික වීරයෝ බවට පත්වූහ. බාබඩෝස්, ට්‍රිනිඩෑඩ් හා ජැමෙයිකාවේ සංචාරය කරන්නන්ට එහි වීදිවලට ක්ලයිව් ලොයිඩ්, විවියන් රිචඩ්ස්, ජෝගානර්, මැල්කම් මාෂල් වැන්නවුන්ගේ නම් බහුලව යොදා තිබෙනු දක්නට ලැබෙන සුලභ දර්ශනයන්ය. අපේ රටේත් මුහුදු වෙරළේ සහ මහපාරේ කුඩා කළ ක්‍රිකට් ගසා ජාත්‍යන්තරයම දිනාගත් ක්‍රීඩකයෙකු සිටී. දකුණු පළාතේ රත්ගමෙන් බිහිවූ ලසිත් මාලිංග එම ක්‍රීඩකයාය.

රත්ගම දේවපතිරාජයෙන් ක්‍රීඩාවට සම්බන්ධ වුවත් ඔහුට ජාතික මට්ටමට ඒමට අවස්ථාව උදාවූයේ ක්‍රිකට් ආයතනය රටපුරා වේග පන්දු යවන්නන් සොයන වැඩසටහනෙන් වේග පන්දු යවන පුහුණුකරු චම්පක රාමනායකට සම්බන්ධ වීමෙනි. මාලිංග අදත් ඒ වෙනුවෙන් චම්පක රාමනායකට ස්තූතිය පළකරයි. එදා පටන් ආ ගමන් මගේ 2007 ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාව සමග පන්දු හතරක දී කඩුලු 4ක් ලබා ලෝක වාර්තාව තැබීමත්, ඉන්පසු දෙවරක් පිට පිටම කඩුලු තුන බැගින් දවා (හැට්රික්) දෙකක් ලබා ගැනීමත්, 2014 ලෝක කුසලාන 20-20 තරගාවලියේ ලංකා පිලට නායකත්වය දී කුසලානය දිනාගැනීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාවට අලුත් පිටු එක් කිරීමට මාලිංග සමත්විය. ඔහු හැට්රික් ලැබුවේ ඕස්ට්‍රේලියාව හා කෙන්යාව සමගය.

Lasith Malinga

වෙනත්  කිසිදු පන්දු යවන්නෙකු පන්දු නොයවන ආකාරයට දකුණත හරහට කරකවමින් පන්දු යවමින් (ස්කූයාර්) එක්දින හෝ 20-20 තරගවල අග භාගයන්හි පිතිකරුවනට වේගපහරවල් කරායාමට ඉඩ නොදී මෙල්ල කරන හොඳම පන්දු යවන්නා ලෙසට මාලිංග ලොවපුරා නමක් දිනා සිටී. එම අවස්ථාවන්හි යෝකර් පන්දු යැවීමට ඔහු ලොව පුරා ප්‍රචලිතය. පිතිකරු තුළට එන යෝකර් (ඉන් ස්වින් යෝකර්) ප්‍රවේගකාරී බවුන්සර් පන්දු සහ වේගයෙන් දිවවිත් සෙමින් පන්දුව පතිත කර විවිධ සම්මිශ්‍රණ මගින් මොහු පිතිකරුවන් මුලාකරවති. ලැජ්ජා සහගතව මුව සරසා ගත්තත් වෙනත් වේගපන්දු යවන්නන් මෙන්ම මොහු කිපෙන සුලුය.

1983 අගෝස්තු 28 උපත ලද 35 හැවිරිදි ලසිත් මාලිංග මුලින්ම ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ 2004 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕස්ට්‍රේලියා සංචාරයට සහභාගි වී ප්‍රථමවරට ටෙස්ට් තරගයකට සහභාගිවෙමිනි. 2007 සිට 2014 දක්වා ඔහු එක්දින තරගාවලියන්හි ජාත්‍යන්තර මට්ටමේ වීරයෙකි. 2011 අවුරුදු 27 දී ටෙස්ට් පිටියෙන් සමුගන්නාවිට ඔහු ටෙස්ට් කඩුලු 101ක් ලබා සිටියේය. ලසිත් මාලිංග ඔහුගේ පන්දු යැවීමේ විලාසිතාව අනුව වසරක්, දෙකක් හා මාස ගණන් ආබාධයන්ට ළක්ව ක්‍රිකට් පිටියෙන් ඈත්ව සිටියේය. එහෙත් වරින් වර නැවත කණ්ඩායම එක්විය.

මහේල ජයවර්ධන හා කුමාර සංගක්කාර කෙතරම් දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් වුවත් ඔවුනට තම මවුබිමට ලෝක කුසලානයක් දිනා දීමට අවස්ථාවක් නොලැබිණි. මේ දෙදෙනාගේ සහයත් තිලකරත්න දිල්ෂාන්ගේ සේවයත් ලැබූ ලසිත් මාලිංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව 2014 වසරේ 20-20 ලෝක සූරයන් බවට පත්විය.

ඔහුගේ සුපිරි පන්දු යැවීම මත ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්)තරගාවලියේ ආරම්භයේ සිට මේ දක්වාම මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නාගේ විශාල මුදල් කොන්ත්‍රාත්තුව හිමිවිය. ශ්‍රී ලංකාව, ක්‍රිකට් පාලක මණ්ඩල ඇකඩමිපිල, එන්.සී.සී, රුහුණ, සදර්න් එක්ස්ප්‍රස්, ගාල්ල ක්‍රිකට් සමාජය, ගයනා  ඇමසන්, ජැමෙයිකා ටොලවාන්ස්, කෙන්ට්  හා මෙල්බර්න් ස්ටාර්ස් ඔහු නියෝජනය කළ කණ්ඩායම් වේ. එක්දින තරග 218කදී කඩුලු 322ක් ද 20-20 තරග 73ක දී කඩුලු 97ක් ද ටෙස්ට් තරග 30කදී කඩුලු 101ක්ද ලබා ඇත.

2019 නෙලා්ක කුසලාන තරගාවලියේ දී ලසිත් මාලිංනගගෙන් ලංකා කණ්ඩායමට කුමන ආකාරයකින් දායකත්වයක් ලැබේදැයි අපි බලමු.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-