අමතකව සිටි ජීවන් යළිත් කරළියේ

Thanathillen Eha_1

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමට පළපුරුදු ප්‍රවීණ, වයස අවුරුදු 35ට වැඩි ක්‍රීඩකයෙකු ඇතුළත් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළහ.  මේ අවස්ථාව උපුල් තරංගට හෝ ජීවන් මෙන්ඩිස්ට හිමි වෙතැයි අපේක්ෂා කළ අතර මෑතක පැවැති තරග කිහිපයකදී පෙන්වූ දක්ෂතා මත එංගලන්තයට යාමේ අවස්ථාව හිමිවුයේ 36 හැවිරිදි ජීවන් මෙන්ඩිස්ටය.  ජීවන් ලංකා කණ්ඩායමේ වයසින් වැඩිම ක්‍රීඩකයා ය.

බලපුවඩුගේ මනුකුලසූරිය අමිත් ජීවන් මෙන්ඩිස් 1983 ජනවාරි 15 වැනිදා උපත ලබා අසෝක කණිෂ්ට හා ගල්කිස්ස සාන්න තෝමස් කණ්ඩායම් නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේය.  දකුණතින් පාදඟ පන්දු යවන වමත් පිතිකුරුවකු ලෙස අග පෙළ වේගයෙන් පන්දුවට පහර දෙන තුන් ඉරියව් ක්‍රීඩකයෙකි.

Jeevan Mendis

ජීවන් මෙන්ඩිස් එතෙර ප්‍රාන්ත හා අන්තර් සමාජ තරගාවලි රැසකටත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග කිහිපයකටත් සහභාගී වී තිබේ.  එංගලන්තයේ ඩාබිෂයර් ප්‍රාන්තය 2017 වසරේ පාදඟපන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සොයන අවස්ථාවේ එම ස්ථානය හිමිවූයේ මොහුටය.  ඉන්දියාවේ ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඩිල්ලි ඩෙයා ඩෙවිල්ස්, සුප්‍රසිද්ධ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සය සාමාජික තරග, දකුණු අප්‍රිකාවේ අන්තර් සමාජ තරගාවලියේදී තරග නවයකදී කඩුලු 16ක් ලබා වැඩිම කඩුලු ලැබීමේ සම පන්දු යවන්නාවීමද ජිවන්ගේ දක්ෂතා අතර විය.

2012 වසරේ 20-20 ලෝක කුසලාන තරගාවලිය 2015 වසරේ ලෝක කුසලාන තරගාවලිය බටහිර ඉන්දීය කොදෙව් දූපත් දකුණු අප්‍රිකා සහ බංග්ලාදේශයේ 20-20 තරගාවලියන්ට ද මොහු සහභාගී වී තිබේ.  2010 සිට 2015 දක්වා ශ්‍රී ලංකා එක්දින පිල නියෝජනය කරමින් තරග 54ක ට සහභාගී වී ඉනිමක ලකුණු 20 ක සාමාන්‍යයක් ද ලබා සිටී.  2011 සිට 2018 දක්වා 20-20 තරග 22 කදී ලකුණු 207 ක් ලබා ඇත්තේ සාමාන්‍ය 18.8 ක් වාර්තා කරමිනි.

වසර 2015 න් පසුව ජීවන් මෙන්ඩිස් පිළිබඳව එතරම් අසන්නට හෝ දක්නට නොලැබිණි.  වසර හතරක් ජාත්‍යන්තර එක්දින සීමිත ඕවර පිටියේ නොසිටි හෙයින් පිරිසකට ඔහු අමතක වූ අතර තවත් පිරිසක් කීවේ ජීවන්ට ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට කාලය එළැඹ ඇති බවය.  මේ සියල්ල අසත්‍ය බව පසක් කරමින් පසුගිය සුපිරි අන්තර් පළාත් තරගාවලියේ දී ඔහු වරක් ලකුණු 36ක ට කඩුලු හතරක් ලබා තවත් වරෙක නොදැවී අර්ධ ශතකයක් ලැබීය.  ජීවන් අත්‍යාවශ්‍ය වේලාවකට දස්කම් පෙන්වන ක්‍රීඩකයෙකි.  ලෝක කුසලානයේ දී ඔහුගේ දක්ෂතා දෙස අප බලමු.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-