ආසියානු කුසලානයට ශ්‍රී ලංකා පිල පිටත්ව යති

Thanathillen Eha_1

ආසියාවේ ප්‍රධානතම ක්‍රිකට් තරගාවලිය ලෙස සැළකෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අගහරුවාදා (11) රාත්‍රි ඩුබායි බලා පිටත්ව ගියහ.

මේ මස 15සිට 28 දක්නා එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් ඩුබායි සහ අබුඩාබි නගරවලදී පැවැත්වෙන මේ එක්දින තරගාවලියට ශ්‍රී ලංකාව ඉන්දියාව පාකිස්ථානය බංග්ලාදේශය ඇෆ්ගනිස්ථානය හා හොංකොං යන රටවල් සහභාගි වෙති. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානය එක් කොටසකටත් ඉන්දියාව,පාකිස්තානය සහ හොංකොං අනෙක් කොටසටත් අයත් වෙති.

මූලික වටයේ තරග හය සැප්තැම්බර් 15 සිට 20 දක්වා පැවැත්වෙනු ඇත. ආරම්භක තරගය 15 වැනිදා ඩුබායිහිදී ආරම්භවනුයේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතරය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඊළග තරගය 17වැනිදා පැවැත්වනුයේ ඇෆ්ගනිස්ථානය සමග අබුඩාබි නගරයේදීය.

Sri Lanka Squad Ausia Cup 2018 Departure_DSC_4168

ශ්‍රී ලංකා කණ්ඩායම අගහරුවාදා(11) ඩුබායි බලා පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී මහා සංඝරත්නය ක්‍රීඩකයනට ආශිර්වාද කරමින් ආගමිකවතාවත් පැවැත්වූහ. ඊට පෙර මාධ්‍ය සාකච්ඡාවක්ද පැවැත්විණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් මේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් තරගාවලියට ඉදිරිපත් වන සියලුම කණ්ඩායම් ප්‍රබලම තත්ත්වයක පසුවන බවත් සැමගේ අපේක්ෂාව ආසියානු ක්‍රිකට් කිරුළ දිනාගැනීම බවත් කීවේය. 2014 වසරේ ආසියානු කුසලාන තරගාවලියේ කිරුළ ශ්‍රී ලංකාව විසින් පාකිස්තානය පරදා ජයගත් ආකාරයටම මෙවරද සූරතාව දිනා ගැනීම අපේක්ෂාව බවද මැතිව්ස් කීය.

ලංකා කණ්ඩායමේ කළමනාකරු චරිත් සේනානායක අදහස් දක්වමින් ආසියානු කුසලාන තරගාවලිය දෙවැනි වන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පමණයි. ප්‍රබල කණ්ඩායම් සහභාගිවන මේ තරගාවලිය තියුණු මුහුණුවරක් ගන්නා හෙයින් අප පළපුරුදු හා තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමක් මීට සහභාගි කරවනවා. ශ්‍රී ලංකාව ආසියානු කුසලාන තරගාවලියේ සැමදා දස්කම්පා ඇති හෙයින් මෙවරද එලෙසම ක්‍රීඩා කිරීම අපගේ අපේක්ෂාවයි. අපගේ ප්‍රධාන අපේක්ෂාව මූලික වටය ජයගෙන දෙවන වටයෙන්ද තේරී අවසාන තරගයට සුදුසුකම් ලැබීම යැයි ඔහු පැවසීය.

කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ ප්‍රකාශ කළේ පසුගිය සති 2-3 තුළ සිදුකළ පුහුණුවීම් කණ්ඩායමේ ප්‍රගතියට බෙහෙවින් බලපානු ඇති බවය. කිසිම කණ්ඩායමක් අඩු තක්සේරුවකින් පිළිගත හැකි නොවන බව කී හතුරුසිංහ බංග්ලාදේශය හා ඇෆ්ගනිස්ථානයද ප්‍රබලම තත්ත්වයක පසුවන බවද කීවේය. තරගයේ අගභාගයේ දී සහ වෙනත් අත්‍යවශ්‍ය වේලාවලදී ප්‍රබල පිතිකරුවන් මෙල්ල කරගැනීමට හැකි පන්දු යැවීමට දක්ෂ ලසිත් මාලිංග වැනි පන්දු යවන්නන් ලොව ඇත්තේ අල්ප ප්‍රමාණයක යැයි කී ප්‍රධාන පුහුණුකරු ඔහුගේ සේවය ලංකා පිලට රුකුළක්වනු ඇතැයි ද කීවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම :-

ඇන්ජලෝ මැතිව්ස් (නායක) කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක නිරෝෂන්  දික්වැල්ල තිසර පෙරේරා දසුන් ශානක ධනංජය ද සිල්වා අකිල ධනංජය දිල්රුවන් පෙරේරා අමිල අපොන්සු සුරංග ලක්මාල් ලසිත් මාලිංග දුෂ්මන්ත චමීර සහ කසුන් රාජිත

-බන්දුල මොල්ලිගොඩ-