ඉදිරියේදී බාලිකා මහා ක්‍රිකට් තරග රැසක්

Thanathillen Eha_1

බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග දිවයින පුරා ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින බවත්, අනාගතයේ කාන්තා ක්‍රිකට් සංවර්ධනයට මෙය බොහෝ සෙයින් ඉවහල් වනු ඇති බවත්, ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් අංශ භාර නිලධාරිනි අප්සාරි තිලකරත්න මහත්මිය ප්‍රකාශ කරයි.

2018 වසරේ බාලිකා පාසල් ක්‍රිකට් වාරයේ පැවැත්වීමට නියමිත බාලිකා මහා ක්‍රිකට් තරග 15 පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට ක්‍රිකට් ආයතනයේ පැවැත්වූ මාධ්‍ය හමුවේදී මේ අදහස් පළකල අප්සාරි තිලකරත්න මහත්මිය බාලිකාවන් අතර, ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රියකර එමගින් ජාතික හා ජාත්‍යන්තර මට්ටමට දක්ෂ ක්‍රීඩිකාවන් හඳුන්වාදීමට ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා අපේක්ෂා කරන බවත් කීවාය.

Apsari Tillakaratne

ගිය වසරේ අප සංවිධානය කළේ බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග දහයයි.  මේ වසරේ එම ප්‍රමාණය 15 දක්වා වැඩි වී තිබෙනවා.  බාලිකා පාසල්වල විදුහල්පතිවරුන්, ආචාර්ය මණ්ඩල, වෙනත් සේවක සේවිකාවන් අතරත් දෙමාපියන් අතරත් අද ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් ජනප්‍රියව තිබෙනවා.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරග සංවිධානය කිරීමට මුල්‍යාධාර ක්‍රිකට් උපකරණ හා හොඳම ක්‍රීඩාංගණ හා තනතිලි සැපයීමෙන් බාලිකා ක්‍රිකට් සංවර්ධනයට මහත් රුකුලක් ලබාදෙන්නේ යැයිද තිලකරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

ත්‍රිකුණාමලය සිංහල මහා විදුහලේ විදුහල්පති උපුල් කිත්සිරි මහතා අදහස් දක්වමින් උතුරු – නැගෙනහිර පළාත්වල බාලිකාවන් අතර බාලිකා ක්‍රිකට් ක්‍රීඩාව බෙහෙවින් ජනප්‍රිය වෙමින් පවතින බවත් ඒ සඳහා දිරිගැන්වීම් කරන ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වන බවත් කීවේය.  නුගේගොඩ අනුලා විදුහලේ විදුහල්පතිනිය ජයනි ප්‍රසංගිකා මහත්මිය අධ්‍යාපනයෙන් ලබන දැනුම් සම්භාරයට අමතරව බාලිකා ක්‍රිකට් ක්‍රීඩාවෙන් කුසලාන වර්ධනය ඇතිවනබව පෙන්වා දුන්නාය.

ගම්පහ රත්නාවලි බාලිකා විදුහලේ විදුහල්පතිනිය හේමා ජයවර්ධන මහත්මිය ප්‍රකාශ කළේ තම පාසල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩිකාවන් රැසක්ම බිහිකර ඇති අතර බාලිකාවන් ක්‍රිකට් වැනි ක්‍රීඩාවන්හි නියැලීමෙන් විනය, හික්මීම හා ජය පරාජයට මුහුණදීම ළමාවියේදීම හුරුවන බවය.  තලල්ල ධර්මජීව විදුහලේ ක්‍රිකට් භාර ආචාර්ය ප්‍රසන්න මොහොට්ටි මහතා කීවේ දකුණු පළාත තුළ බාලිකා ක්‍රිකට් බෙහෙවින් ජනප්‍රිය වෙමින් පවතින බවත් විශේෂයෙන්ම ගම්බද පාසල්වලින් දක්ෂ ක්‍රීඩිකාවන් ඉදිරියට එමින් සිටින බවත්ය.

ඉදිරියේ පැවැත්වෙන බාලිකා මහා තරග

මැයි 9 – වව්නියාව හින්දු විදුහල – මන්නාරම හින්දු විදුහල, මැයි 11 – රත්නාවලී බාලිකා – නුගේගොඩ අනුලා, මැයි 18 –  කටුගස්තොට අන්තෝනි බාලිකා – නුගවෙල ම. ම. වි., මැයි 25 – ඔක්කම්පිටිය විදුහල – ඇතිලිවැව විදුහල, මැයි 31 – කන්තලේ මැදි විදුහල – කන්තලේ සිංහල විදුහල, ජූනි 1 – මඩකලපුව සඳමාලි හා මහජන විදුහල, ජූනි 8 දෙහිඅත්නකණ්ඩිය මැදි – මැදගල විදුහල, කොළඹගේ ආර් විදුහල හා කුරුවිට මැදි විදුහල (දිනය දැනුම් දෙයි), වේල්ස් කුමරි – බෞද්ධ බාලිකා (දිනය දැනුම් දෙයි), විශාකා – බදුල්ල මැදි (දිනය දැනුම් දෙයි), මාතර අනුර – තලල්ල ධර්මවිජය (දිනය දැනුම් දෙයි)

– බන්දුල මොල්ලිගොඩ –

 -The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-