ඉන්දියාවට යන ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම

Thanathillen Eha_1

මේ මස 16 වැනිදා ඇරැඹෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය සංචාරයේ ටෙස්ට් තරගාවලියට නම්කර ඇති ටෙස්ට් සංචිතයෙන් පසුගිය දා පාකිස්තානය සමග තරග වැදුණු කෞෂල්‍ය ද සිල්වා සහ කුසල් මෙන්ඩිස් ඉවත් කර  ඇති අතර ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා කණ්ඩායමට අලුතින් එක්ව සිටිති.

හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ආබාධ මතත් ධනංජය ද සිල්වා ලකුණු අතර නොසිටීමෙන් ද පාකිස්තාන තරගාවලියට සහභාගි නොවීය.  මැතිව්ස් දැන් සුවය ලබා සිටින අතර ධනංජය  ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට නායකත්වය දෙමින් කොදෙව් ඒ පිල සමග නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලිය තරග 2 – 1කින් ජය ලබද්දී ශතකයක් හා අර්ධ ශතක දෙකක් ලබා දස්කම් දැක්වීය.

තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න සහ ආක්‍රමණශිලි පිතිකරු කුසල් ජනිත් පෙරේරා ඉන්දීය සංචරයට සහභාගි වීමට නියමිතව සිටියත් ඔවුන් තවමත් සම්පූර්ණ සුවය ලබා නොමැති හෙයින් ලංකා සංචිතයට නම්කර නොමැත.

DSC_3263

මේ දිනවල ලකුණු අතර සිටින ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න සමග ලංකා ඉනිම ආරම්භ කිරීමට සිදු වනුයේ සධීර සමරවික්‍රම, ධනංජය ද සිල්වාට හෝ ළහිරු තිරිමාන්නටය.  නායක දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්  හා රොෂේන් සිල්වා කණ්ඩායමට (සංචිතයට) එක්වන අනෙක් පිතිකරුවෝය.  වේගපන්දු යවන්නන් ලෙස කණ්ඩායමට නම්කර ඇත්තේ සුරංග ලක්මාල්, ළහිරු ගමගේ හා විශ්ව ප්‍රනාන්දුය.  නිරෝෂන් දික්වැල්ල සහ සධීර සමරවික්‍රම කඩුලු රකින්නන් ලෙස ක්‍රියා කරති.  රංගන හේරත්, දිල්රුවන් පෙරේරා හා ලක්ෂාන් සඳකැන් දගපන්දු යවන්නෝය.  එක්දින තරගවල විශේෂ දස්කම් පෙන්වන දසුන් ෂානකට ස්ථානයක් හිමිවීම විශේෂත්වයකි.  දසුන් කොදෙව් ඒ සංචාරය නිල නොවන ටෙස්ට් තරගවලි දී ශතකයක් හා අර්ධ ශතකයක් ලැබීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දීය සංචරයේ ප්‍රථම ටෙස්ට් තරගය මේ මස 16 – 20 වැනිදා කල්කටාවේත් 24 – 28 දෙවන ටෙස්ට් තරගය නාග්පුර්හි දීත් දෙසැම්බර් 2 – 6 තුන්වන ටෙස්ට් තරගය නව දිල්ලියේත් පැවැත්වීමට නියමිතය.  එක්දින තරග තුන පැවැත්වෙන්නේ දෙසැම්බර් 10 ධර්මශාලාපිටියේත් 13 වැනිදා මොහාලිහිදීත් 17 වැනිදා විශාඛා පට්නම්හිදීත් ය.  20 -20 තරග කටක්හිදීත් (දෙසැම්බර් 20) ඉන්දුර්හීදීත් තුන්වන තරගය 24 දා මුම්බායිහීදීත් පැවැත්වීමට  නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස මේ සංචරයේදී කටයුතු කරන්නේ තිලාන් සමරවීරය.  තිලාන් පසුගිය දිනවල බංග්ලදේශ කණ්ඩායමේ පිතිකරු ලෙස කටයුතු කළ අතර, බංග්ලාදේශ ලකුණු රැස් කිරීමේදී විශේෂ කුසලතා දැක්වීය.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පසුගිය දිනවල ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව හා නවසීලන්තය සමග විශේෂ දක්ෂතා දක්වා ටෙස්ට් ශ්‍රේණිගත කිරීමේ අංක 1ට පසුවේ.

ඉන්දියාව පසුගිය ශ්‍රී ලංකා සංචාරයේ ටෙස්ට්, එක්දින හා 20 – 20 තරග සියල්ල මෙහිදී ජය ලැබීය.  එසේ වුවද ශ්‍රී ලංකා කණ්ඩායම මේ සංචාරයේ දී වඩා දස්කම් පෙන්වනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක) දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, රංගන හේරත්, සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, ළහිරු ගමගේ, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, රොෂේන් සිල්වා.

තරග කාලසටහන (ශ්‍රී ලංකා කණ්ඩායම් ඉන්දීය සංචාරය)

නොවැම්බර් 16 – 20            ඊඩ්න් ගාඩ්න්ස් කල්කටාව (ප්‍රථම ටෙස්ට් තරගය)

නොවැම්බර් 24 – 28            වී. සී. ඒ. ක්‍රීඩාංගණය නාග්පූර් (දෙවන ටෙස්ට් තරගය)

දෙසැම්බර්     2 – 6                ෆෙරෝස් ෂා ක්‍රීඩාංගණය නවදිල්ලි (තෙවන ටෙස්ට් තරගය)

දෙසැම්බර්     10                    ප්‍රථම එක්දින තරගය  ධර්මශාලා ක්‍රීඩාංගණය

දෙසැම්බර්     13                    දෙවන එක්දින තරගය  මොහාලි

දෙසැම්බර්     17                    තෙවන එක්දින තරගය  විශාඛා පට්ම්හීදී

දෙසැම්බර්     20                    ප්‍රථම 20 – 20 තරගය කටක්හිදී

දෙසැම්බර්     22                    දෙවන 20 – 20 තරගය ඉන්දූර්හිදී

දෙසැම්බර්     24                    තෙවන 20 – 20 තරගය වන්කඩේ ක්‍රීඩාංගණය මුම්බායි

-බන්දුල මොල්ලිගොඩ-

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-