ඉන්දියාව ශ්‍රී ලංකාව පරදා  ජය ගනී

Thanathillen Eha_1

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කාන්තා 20 -20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැති තරගයෙන් ඉන්දියාව කඩුලු හතක ජයක් ලැබීය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු හතකට ලබාගත්තේ ලකුණු 107කි. පිළිතුරු ලෙස ඉන්දියාව කඩුලු තුනකට ලකුණු 110ක් ලබා ගත්තේ ඕවර 18.5 කට මුහුණදීමෙනි.

ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට පිටියට පිවිස ඕවර 10ක් නිමවන විට කඩුල්ලකට ලකුණු දහයක් ලබා සිටියේය. ඉතිරි ඕවර දහයේදී ලංකා පිතිකාරිණියන්ගෙන් විශාල ලකුණු ප්‍රමාණයක් අපේක්ෂා කළත් තවත් කඩුලු හයක් දැවී එක්කළේ ලකුණු 57ක් පමණකි.

නැවතවතාවක් ලකුණු අතරට පිවිසි ශ්‍රී ලංකා ආරම්භක පිතිකාරිණිය යශෝධා මෙන්ඩිස් පන්දු 39කදී ලකුණු 27ක්ද අංක තුන පිතිකාරිණිය හෂිණි පෙරේරා පන්දු 43කදී හතරේ හතරක් සමග ලකුණු 46ක්ද ලබාගත්හ. යශෝධා සහ හෂිණි පෙරේරා ශ්‍රී ලංකා දෙවන කඩුල්ලට ඕවර හයකදී ලකුණු 38ක් රැස්කළත් සෙසු පිතිකාරිණියන්ට එම වේගය පවත්වාගෙන යාමට නොලැබිණි. ඉන්දීය පන්දු යවන්නියන් අතුරින් කැපී පෙනුණු ඊ.බිෂ්ට් ලකුණු 20කට කඩුලු දෙකක් දවාලූවාය.

ඉන්දියාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ඕවර 11.3කදී ප්‍රබල ක්‍රීඩිකාවන් දෙනෙකුම මුළු ලකුණු 55වන විට දැවීගොස් සිටියත් ඉනිම අග භාගයේ ඔවුන් වේගය වැඩිකරගනිමින් ජයගත්තේ පන්දු හතක් ඉතිරිව තිබියදීය.

එච්.කොවුර් ලකුණු 24ක් ද (පන්දු 25) එම්.රාජ් ලකුණු 23ක්ද (පන්දු 33) බී.ක්‍රිෂ්ණමූර්ති නොදැවී 24ක් ද (පන්දු 23යි) රැස් කළහ.නිලක්ෂි ද සිල්වා ලකුණු 12කට කඩුල්ලක් දවාලූවාය.

බ්‍රහස්පතින්දා (7) තරග නිමවන විට පිළිවෙලින් ඉන්දියාව,පාකිස්ථානය,බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව ප්‍රථම ස්ථානයේ සිට සිව්වන ස්ථාන දක්වා හිමිකරගෙන සිටියහ.

-බන්දුල මොල්ලිගොඩ-

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-