ඉන්දීය කාන්තා කණ්ඩායම ප්‍රථම එක්දින තරගය පහසුවෙන් ජය ගනී

Thanathillen Eha_1

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී අගහරුවාදා (11) පැවැති ප්‍රථම එක්දින තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු නවයක පහසු ජයග්‍රහණයක් අත්කරගත්තේය. මුලින් පන්දුවට පහරදී ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 98ට පිළිතුරු ලෙස ඉන්දියාව කඩුලු 1ක් පමණක් දැවී ලකුණු 100ක්ලබා ගත්තේ ඕවර 19.5ක් තුළදීය.

ලකුණු 99ක ජයග්‍රාහි ඉලක්කයකට යාමට ඉන්දීය පිල පැමිණි අවස්ථාවේ ජී.ජී.රවුට් (ලකුණු 24යි පන්දු 41යි හතරේ 2යි) හා එස්.මන්දනා (නොදැවී 73යි පන්දු 76යි හතරේ 11යි හයේ 2යි) මුල් විකට්ටුවට ලකුණු 96ක් ලබා පහසු ජයග්‍රහණයකට කණ්ඩායම යොමු කළහ. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළත් ගාල්ල තණතිල්ලේ පන්දුවට පහරදීම ලංකා පිතිකාරියනට අසීරු කරුණක් විණි. ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 98 අනුව ඕවරයකට සාමාන්‍ය වේගය ලකුණු 2.78ක් පමණකි.

Smriti Mandhna way to 50

මෙහිදී ලකුණු දහය ඉක්මවා රැස්කළේ නායිකා චමරි අතපත්තු (33) ශ්‍රීපාලි වීරක්කොඩි (26) සහ ඩිලනි මනෝදරා (12) පමණකි. හත්වන කඩුල්ලට චමරි අතපත්තු සහ ශ්‍රීපාලි වීරක්කොඩි එක්කළ ලකුණු 29ත් සිව්වන කඩුල්ලට චමරි අතපත්තු සහ ඩිලනි මනෝදරා එක්කළ ලකුණු 19ත් ලංකා කණ්ඩායමේ හොදම සබදතාය.

ආරම්භක පිතිකාරිනිය ලෙස පිටියට පිවිසි නායිකාව චමරි අතපත්තු පන්දු 93කට මුහුණ දී හතරේ 2ක් සමග ලකුණු 33ක් ලබා ලකුණු 78දී දැවී ගියේ හතරවන කඩුල්ල ලෙසය. ඊට අමතරව ලකුණු 10 ඉක්ම වූයේ ඩිලනි මනෝදරා (12) සහ ශ්‍රිපාලි වීරක්කොඩි (26) පමණකි.

ලකුණු විස්තරය:

ශ්‍රී ලංකාව ඕවර 35.1කදී සියලු පිතිකාරිණියන් දැවී 98යි.

ප්‍රබෝධනී වීරක්කොඩි 02, චමරි අතපත්තු 33, නිපුනි හංසිකා 02,ශසිකලා සිරිවර්ධන 01, ඩිලනි මනෝදරා 12, එම් .සංජීවනී 04, නිලක්ෂිද සිල්වා 01, ශ්‍රීපාලි වීරක්කොඩි 26, උදේශිකා ප්‍රබෝධනී 01, සුගන්ධිකා කුමාරි 01, ඉනෝකා රණවීර නොදැවී 05, ජේ.ගොස්වාමි 13ට 2, එම්.ජෝසි 16ට 3, පූනම් යදවු 13ට 2

ඉන්දියාව ඕවර 19.5දී කඩුලු 1ට 100යි.

පී.රවුට් 24, එස් මන්දනා නොදැවී 73, එම් රාජ් නොදැවී 00, ඉනෝකා රණවීර (5ට 1)

(දෙවන එක්දින තරගය 13වැනිදා ගාල්ල ජාත්‍යන්තර පිටියේදී)

– බන්දුල මොල්ලිගොඩ