ඉන්දීය – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් 11වැනිදා ඇරැඹේ

Thanathillen Eha_1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග එක්දින තරග තුනකට සහ 20-20 තරග පහකට සහභාගි වීම සදහා මෙහි පැමිණ සිටින ඉන්දීය කාන්තා ක්‍රිකට් කන්ඩායම අගහරුවාදා (11) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරගාවලිය ආරම්භ කරන්නේ ප්‍රථම එක්දින තරගයට සහභාගිවීමෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සහ ඉන්දීය කණ්ඩායමේ නායිකාව මිතාලි රාජ් සෙනසුරාදා (8) කොළඹ දී මේ තරගාවලිය පිළිබදව පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ තම කණ්ඩායම් ප්‍රබල තත්ත්වයක පසුවන හෙයින් තරගාවලියන් දෙකේම ජය ගැනීමට අපේක්ෂා කරන බවයි. තියුණු තරග දැකගැනීමේ අවස්ථාව උදාවනු ඇතැයිද නායිකාවන් දෙදෙනාම ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකා නායිකාව චමරි අතපත්තු වැඩිදුරටත් කීවේ දක්ෂ ක්‍රීඩිකාවන්ගෙන් සමන්විත කණ්ඩායමක් ශ්‍රී ලංකාව සතු හෙයින් තරගාවලියන් දෙකේම දක්සකම් පෑමට අපේක්ෂා කරන බවයි. ඉන්දීය නායිකා මිතාලි රාජ් කීවේ තරගාවලියන් ජයග්‍රහණය කිරීමේ හැකියාව ඇති තුන්ඉරියව් ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම අප සතුයි. මේ තරගාවලිය අපට වැදගත් වන්නේ මෙහිදී ජයග්‍රහණය කළහොත් ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ශ්‍රේණිගත කිරීමේ ලකුණු සටහනෙන් අපට ඉදිරියට යා හැකි නිසයි. අප ශ්‍රී ලංකාව සැහැල්ලුවෙන් ගන්නේ නැත්තේ ඔවුන් තරගයක්පාසාම දියුණුවෙමින් සිටින හෙයිනුයි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂ ක්‍රීඩිකාවන් රැසක්ම සිටිනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් දක්ෂතා මට්ටම නුදුරු අනාගතයේදීම ඉහළ මට්ටමකට පත්වනු ඇතැයි කාන්තා ක්‍රිකට් නව ප්‍රධාන පුහුණුකරු හර්ෂ ද සිල්වා පැවසීය. මීට වසර පහකට පෙර තමා  ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ප්‍රථම වරට කටයුතු කරද්දී ක්‍රීඩිකාවන් 24කගේ සංචිතයෙන් ක්‍රීඩිකවන් 20ක්ම අද ඉතිරිව සිටීම සතුට කරුණකයැයි කී හර්ෂ ද සිල්වා 2013 වසරේ තමා එතෙර ගොස් නැවත පැමිණෙන විට ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ඔපමට්ටම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙන ඇති පියවර ප්‍රසංශනීය යැයිද කීවේය.

තරුණ ක්‍රීඩිකාවන් සමග දක්ෂතම ක්‍රීඩිකාවන් හයදෙනෙකුම පමණ කණ්ඩායමට අලුතින් එක්ව සිටීම සතුටට කරුණක් බව කී හර්ෂද සිල්වා තමා පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියාවේදී ලත් අත්දැකීම් ඉදිරියේදී ලබා දීමට අපේක්ෂා කරන බවද පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාත්‍යන්තර ක්‍රිකට් අංශයේ ප්‍රධානී චන්දිම මාපටුන රැස්ව සිටි සියල්ල පිළිගනිමින් කතාකර, ශ්‍රී ලංකා ඉන්දීය දීර්ඝ ක්‍රිකට් සබදතා මත දෙරටේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර මට්ටමේ දියුණුවට පත්වනු ඇතැයි කීවේය.

බන්දුල මොල්ලිගොඩ.