ඓතිහාසික තුන්වැනි 20 – 20 තරගයත් පාකිස්තානය ජයගනී

පාකිස්තානයේ ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා – පාකිස්තාන ඓතිහාසික 20 – 20  ට තෙවැනි තරගය ද පාකිස්තානයේ ලකුණු 36ක ජයග්‍රහණයක් අත්කරගත්තේ තරගවලිය ද 3- 0ත් ලෙස ජයගනිමිනි.  වසර ගණනාවකට පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්තාන භූමියේ තරග වදිනු දැකීමට එරට ක්‍රීඩා ලෝලීන් ගඩාෆි ක්‍රීඩාංගණය අතුරු සිදුරු නැතිව  පිරෙන්නට පැමිණි සිටීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා කාසියේ වාසිය දිනා මුලින් පන්දුව පහරදීමට පාකිස්තානයට ඇරියුම් කළ අවස්ථාවේ අබුඩාබි හි සෙයඩ් ක්‍රීඩාංගණයේ මෙන් නොව ලකුණු ලබාගැනීම පාරාදීසියක් වන ගඩාෆි ක්‍රීඩාංගණයේ දී පාකිස්තාන පිතිකරුවන් සිය ඕවර 20 අවසානයේ කඩුලු තුනකට ලකුණු 180ක් ලබමින් ලබාගත්තේ ප්‍රබල ස්ථාවරත්වයකි.  ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලබා ගත්තේ ලකුණු 144කි.

Sri Lanka's Thisara Perera (L) celebrates taking the wicket of Pakistan's Ahmed Shehzad (not seen) next to Pakistan's Shoaib Malik (R) during the second Twenty20 series cricket match Pakistan vs Sri Lanka on October 27, 2017 at Sheikh Zayed Stadium, in Abu Dhabi. / AFP PHOTO / NEZAR BALOUT

Sri Lanka’s Thisara Perera (L) celebrates taking the wicket of Pakistan’s Ahmed Shehzad (not seen) next to Pakistan’s Shoaib Malik (R) during the second Twenty20 series cricket match Pakistan vs Sri Lanka on October 27, 2017 at Sheikh Zayed Stadium, in Abu Dhabi. / AFP PHOTO / NEZAR BALOUT

ලකුණු අතර සිටින ප්‍රවීණ පිතිකරු ෂොයිඩ් මලික් නැවත වතාවක් තම පැරැණි සුපුරුදු දක්ෂතා පෙන්වමින් හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් සමග ලකුණු 51ක් ලබාගත්තේ සිය හයවැනි විස්සයි විස්ස අර්ධ ශතකය පන්දු 23ක දී පමණක් ලබා ගනිමිනි.  අවසාන තරගයේ සහ තරගාවලියේ (විස්සයි විස්ස) වීරයා වූයේ ද ෂොයිබ් මලික්ය.

ශ්‍රී ලංකාව මේ තරගයේ ආරම්භයේ හොඳින් පන්දු යැවීම හා පන්දු රැකීම සිදු කළ ද පාකිස්තාන ඉනිමේ අඩක් ගෙවුණු පසුව ඔවුනගේ පිතිකරුවන් දැඩි ආක්‍රමණශීලි පිළිවෙතක් අනුගමනය කරනු දක්නට ලැබිණි.  ප්‍රථම ඕවර 10 අවසානයේ පාකිස්තානය ලකුණු 70ක් පමණක් ලබාගත්තත් (කඩුල්ලකට) ඊළඟ ඕවර 10 දී කඩුලු දෙකක් දැවී ඔවුන් ලබාගත් ලකුණු ප්‍රමාණය 110කි.

එය ඕවරයකට ලකුණු 11ක් වැනි සාමාන්‍ය අධික ප්‍රමාණයකි.  ශ්‍රී ලංකා කණ්ඩායමට ද අවසාන ඕවර 10 දී ජයග්‍රහණය සඳහා ලකුණු 115ක් අවශ වුවත් ඔවුන් ලබාගත්තේ ලකුණු 78ක් පමණෙකි.

පාකිස්තාන ආරම්භක පිතිකරුවන් දෙදෙනා ෆකාර් සමාන් (31) සහ උමාර් අමීන් (45) මුල් විකට්ටුවට ඕවර අටක දී ලකුණු 57ක් ලබාගනිමින් තම කණ්ඩායමට ලබා දුන්නේ ප්‍රබල ආරම්භයකි.  ශ්‍රී ලංකාව පන්දු යවන්නන් අට දෙනෙකුම යොදා ගත්තත් එක ද පන්දු යවන්නෙකුට හෝ පාකිස්තාන පිතිකරුවනට අභියෝගයක් එල්ල කිරීමට අවස්ථාව උදා නොවිණි.

ශ්‍රී ලංකාව පන්දුවට පහරදෙන අවස්ථාවේ ලකුණු 57ක් ලබා ගන්නා විට දිල්ෂාන් මුනවීර (01) සධීර සමරවික්‍රම (04) මහේල උඩවත්ත (11) සහ ධනුෂ්ක ගුණතිලක (09) කඩුලු හතරක්ම දැවී අසීරු තත්ත්වයක පසුවන අවස්ථාවේ දසුන් ෂානක (54) සහ චතුරංග ද සිල්වා (21) පස්වන කඩුල්ලට කඩිනමින් ලකුණු 39ක් ලබා යම් බලාපොරොත්තුවක් ලබා දේද්දී මුළු ලකුණු 96 දී ෂානක දැවී යාමත් සමග අවසාන කඩුලු හය දැවී ගියේ ලකුණු 48ක් පමණක් එක්වද්දීය.

ප්‍රබල පන්දු යැවීමක නිරත වූ මොහමඩ් අමීර් පන්දු ඕවර හතරක් යවා ලකුණු 13ක් දී ශ්‍රී ලංකා පිතිකරුවන් සිව් දෙනෙකුම දවාලීමට සමත්විය.

පාකිස්තානය ඕවර 20 දී කඩුලු 3ට 180යි.

ෆකාර් සමාන් 31යි,  උමාර් අමීන් 45, බාබර් අසාම් නොදැවී 34යි, ෂොයිබ් මලික් 51යි, දිල්ෂාන් මුනවීර 26ට 1යි.

ශ්‍රී ලංකාව ඕවර 20 දී කඩුලු 9ට 144යි.

දසුන් ශානක 54යි, චතුරංග ද සිල්වා 21යි, සීක්කුගේ ප්‍රසන්න 16යි, මොහමඩ් අමීර් 13ට 4, ෆාහිම් අෂරෆ් 19ට 2යි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉරිදා (29) අලුයම පාකිස්තානයට ළඟා වූ අතර එදින රාත්‍රී 20 – 20 තරගයට සහභාගි වී එදින රාත්‍රීයේම ආපසු සියරට බලා පිටත්විණි.  ලංකා කණ්ඩායම එහි ළඟා වූ අවස්ථාවේ සිට ආපසු පිටත්වන අවස්ථාව දක්වාම දැඩි ආරක්ෂක විධි විධාන එහි තර කර තිබිණි.

– බන්දුල මොල්ලිගොඩ –

Mobil_PMS-TM-1

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-