ක්‍රිකට් නිලවරණයේ ප්‍රතිඵලය දැනටමත් ඉතා පැහැදිලියි – ක්‍රිකට් සභාපති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමක් පසුගිය සෙනසුරාදා (19) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැති අතර එහිදී මේ මස 31 වැනිදා පැවැත්වෙන ක්‍රිකට් නිලවරණය මෙහෙයවීමට පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් ද පත්කර ගන්නා ලදී.

මේ කමිටුවේ සාමාජිකයන් වන්නේ රසික වීරතුංග, කොමදෝරු සනත් උත්පල, බුද්ධික ඉලංගතිලක එච්. ඩී. ජූඩ් පෙරේරා සහ දේවගිරි බණ්ඩාරය.

Sri Lanka Cricket EGM

සෙනසුරාදා (19) ක්‍රිකට් මූලස්ථානයේ පැවැති විශේෂ මහා සභා රැස්වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවක් ඇමතූ ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා, ක්‍රිකට් ආයතනයට අනුයුක්ත ක්‍රීඩා සමාජ 84න් 64ක්ම ඉදිරි නිලවරණයේ සභාපති ධුරයට තම නම යෝජනා කර තිබීමෙන් නිලවරණයේ ප්‍රතිඵලය ඉතා පැහැදිලි වන්නේ යැයි කීවේය.  වත්මන් විධායක කමිටුවේ ලේකම් හැරෙන්නට සෙසු සාමාජිකයන් සියල්ල නිලවරණයට ඉදිරිපත් වන අතර, තම කණ්ඩායමට විශිෂ්ට ජයග්‍රහණයක් හිමිවනු ඇතැයිද සුමතිපාල මහතා කීය.

31 වැනිදා පැවැත්වෙන ක්‍රිකට් නිලවරණය මෙහෙයවීමට පත්කර සිටින කමිටුවේ රසික වීරතුංග සහ බුද්ධික ඉලංගතිලක නීතිඥවරුන්වෙති.  සනත් උත්පල මහතා නාවික හමුදාවේ කොමදෝරුවරයෙකි.  ජූඩ් පෙරේරා (විගණකාධිපති දෙපාර්තමේන්තුව) සහ දේවගිරි බණ්ඩාර (මහා භාරකාර මණ්ඩලය) නියෝජනය කරති.  සෙනසුරාදා (19) පැවැති විශේෂ මහා සභා රැස්වීමේදී ඊට සාමාජිකයන්ගේ පූර්ණ අනුමැතිය හිමි වූ අතර කිසිවෙකු විරුද්ධ නොවීය.

ක්‍රිකට් ලේකම් ධුරයට පමණක් තම පාර්ශ්වයෙන් තරග කිරීමට තිදෙනෙකු ඉදිරිපත්වීමට ඉඩ ඇතැයි සුමතිපාල මහතා සෙසු නිලධාරීන් සියල්ල නිතරගයෙන් තේරීපත්වනු ඇති බවට තම විශ්වාසය යැයිද මෙහිදී කීවේය.  ශ්‍රී ලංකා ප්‍රිමයර් ලීග් තරගාවලියට මෙම නිලවරණ කටයුතු කිසිදු බාධාවක් නොවන බව කී සුමතිපාල මහතා එම තරගාවලියේ සංවිධාන කටයුතු තරගාවලි අධ්‍යක්ෂ රසල් ආනල්ඩ්ගේ මෙහෙයවීමෙන් දැන් බොහෝදුරට අවසන්ව ඇතැයි ද පැවසීය.