“ක්‍රිකට් නිලවරණය මැයි 31 පැවැත්වෙනවා” – ක්‍රීඩා ඇමැති කියයි

Thanathillen Eha_1

ක්‍රිකට් නිලවරණය පිළිබඳව මා උපදෙස් ලබාගන්නේ නීතිපතිවරයාගෙන් පමණයි.  ක්‍රිකට් නිලවරණය සහ මහා සභා රැස්වීම මැයි 31 වැනිදා පැවැත්වීමට මට අවශ්‍ය වූවා.  නීතිපතිවරයාගේ එකගත්වය මත මැයි 31 වැනිදා නියමිත පරිදි ක්‍රිකට් නිලවරණය පැවැත්වෙනු ඇති බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ විගණන වාර්තාව ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත අමාත්‍යාංශයේදී භාරදුන් උත්සව අවස්ථාව අමතමින් නව ක්‍රීඩා අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේය.  එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ෆයිසර් මුස්තෆා මහතා ක්‍රීඩා සංගම් අතුරු පාලක කමිටු මගින් පාලනය වනවාට තමා තරයේම විරුද්ධ වන බව ප්‍රකාශ කළේය.  යම් සංගමයකට අතුරු කමිටුවක් පත් කරනවා නම් එයත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඡන්දයෙන් සිදු විය යුතු බවද ඒ මහතා කීය.

Meeting between the Hon. Minister and SLC President and Executive Committee taking place

Meeting between the Hon. Minister and SLC President and Executive Committee taking place

මට අවශය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ හිටපු ක්‍රීඩකයන් හිටපු පරිපාලකයන් ඇතුලු සියල්ල එකතු කරගෙන 2020 ලෝක කුසලාන තරගාවලියට ගොස් ජයග්‍රහණ අත්කර ගනු දැකීමයි.  ඊට අපි කල්ලිවාදය පුද්ගලික අමනාකම් හා ‍භේද ඉවත් කර එකමුතු විය යුතුව ඇතැයිද ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.  වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලබා ඇති ප්‍රගතිය හා මුල්‍යමය දියුණුව පිළිබඳව තමා සතුටු වන බවද මුස්තාෆා මහතා කීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා මෙහිදී අදහස් දක්වමින් ක්‍රිකට් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ විගණන වාර්තාව නව ක්‍රීඩා අමාත්‍යවරයාට අද දින භාර දුන් අතර, එය ඉදිරියේ පැවැත්වෙන වාර්ෂික මහා රැස්වීමට ඉදිරිපත් කරන බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම ලාභ ලැබූ වසර ලෙස 2017 වසර ඉතිහාසයට එක්වනවා.  පිට පළාත් ක්‍රිකට් ක්‍රීඩාව නැංවීමට, ක්‍රිකට් සංවර්ධනයට, ක්‍රීඩක ආදායම් සියයට 33කින් ඉහළ නැංවීම මේ වසර දෙක තුළ අප ක්‍රියා කර තිබෙනවා.  මේ සංවර්ධන කටයුතු අතරතුර රුපියල් මිලියන 2200ක ලාභයක් ද ගිය වසරේ උපයා ගත් බවද තිලංග සුමතිපාල මහතා පැවසීය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-