කාන්තා ක්‍රිකට් 23න් පහළ සංචිතයක්

2018.06.25
මාධ්‍ය නිවේදනය
කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමේ අරමුණින් අවුරුදු 23 න් පහළ ක්‍රීඩිකාවන් 17 ක් සංවර්ධන සංචිතයකට එක්කර සුදුසුකම් ලත් ප්‍රවීණ පුහුණුකරුවන් වෙතින් ඔවුනට සය මාසික පුහුණුවක් ලබාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (25) ආරම්භ කරන ලදී.
වයස අවුරුදු 23 න් පහළ සංචිතයට ක්‍රීඩිකාවන් තෝරා ගන්නා ලද්දේ පසුගියදා පැවති අන්තර් පළාත් කාන්තා අවුරුදු 23 න් පහළ ක්‍රිකට් තරගාවලියේ උපරිම දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් 15 ක්ද,ඌව සහ නැගෙනහිර පළාත්හී දක්ෂතම ක්‍රීඩිකාවන් දෙදෙනෙකුද එක්කර ගැනීමෙනි.මේ ක්‍රීඩිකාවන්ට මසකට දින හතරක් කොළඹ නේවාසික පුහුණුවක්ද, ඔවුන් නියෝජනය කරන පළාත් වල ප්‍රධාන ක්‍රිකට් පුහුණුකරුවන් වෙතින් මසකට තව දින හතරක පුහුණුවක්ද වශයෙන් සය මසක් ගතවනතුරු පුහුණුව සපයයි.මේ අවස්ථාවන්ට සහභාගී වීමට හා වියදම් වශයෙන් දීමනාවක්ද ක්‍රිකට් ආයතනය මගින් සපයන බව මේ වැඩසටහනේ සම්බන්ධීකරණ නිලධාරිනි අප්සාරි තිලකරත්න මහත්මිය සදහන් කරයි.

Squad with SLC officials
තෝරාගත් ක්‍රීඩිකාවන් සහ එම ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් අද (25) උදෑසන ක්‍රිකට් ආයතනයේදී මේ වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට සහභාගී වූහ.මාසයකට දින 8ක් (නේවාසිකව කොළඹදී දින හතරක් හා ඔවුන් නියෝජනය කරන පළාත් වලදී දින හතරක්) මේ ක්‍රීඩිකාවන් සුදුසුකම් ලත් ප්‍රවීණ පුහුණුකරුවන් වෙතින් පුහුණුව ලබනු ඇත.ක්‍රීඩිකාවන් පුහුණුව ලැබිය යුතු ආකාරය ,ව්‍යායාමවල නිරත විය යුතු වේලාවන්,ලබා ගතයුතු ආහාර පාන ක්‍රමවේද පිළිබදව අද (25) වැනිදා වැඩසටහනේදී ක්‍රීඩිකාවන් දැනුවත් කරන ලදී.
මෙම වැඩසටහන ගිය වසරේ ආරම්භ කළ අතර එහිදී ක්‍රීඩිකාවන් අට දෙනෙකු නැගීඑන ක්‍රීඩිකාවන්ගේ (එමර්ජින්) සංචිතයට සුදුසුකම් ලබා දෙදෙනෙකු ශ්‍රී ලංකාවද නියෝජනය කළ බව පවසන අප්සාරී තිලකරත්න මහත්මිය අද දිනයේ තෝරාගත් ක්‍රීඩිකාවන්ගේ සේවය තව වසර දෙකක් පමණ ගතවන විට උපරිම ලෙස ලබාගැනීමට හැකිවනු ඇතැයිද කීවාය.
මෙවර තෝරාගත් ක්‍රීඩිකාවන් අතර අම්පාර,මඩකලපුව,හලාවත,රත්නපුර,රත්ගම,ගාල්ල හා පොලොන්නරුව ප්‍රදේශවල ක්‍රීඩිකාවන්ද වෙති.

Under 23 women's squad selected for training (4)

ජාතික සංවර්ධන සංචිතයේ ක්‍රීඩිකාවන් 17 දෙනා පහත දැක්වේ
*ෂායිකාරි නුවන්තා *නිමේෂා මධුෂානි *මල්ෂ මධුෂානි රණතුංග * නිලක්ෂණා සදමිණි *සචිනි දයාරත්න *සදනි තිවංකා *කෞෂල්‍යා මධුමාලි * ප්‍රභාෂිණි ප්‍රනාන්දු *පූර්ණිමා ප්‍රනාන්දු *ශෂිනි ප්‍රනාන්දු*ඉරේෂා චතුරානි *සචිනි නිසංසලා *පූජා රශ්මි *ජනදි අනාලි *උදාර බණ්ඩාර *වී.සරණියා සහ ජනුසි සුදීරා
Under 23 women's squad selected for training (2) Under 23 women's squad selected for training (5)