කුසල් මෙන්ඩිස් අනාගතයට යහපත් ආයෝජනයක්

Thanathillen-Eha_3

මොරටුව පුරවරය ක්‍රිකට්, සංගීතය හා ලී බඩු කර්මාන්තයේ සම්මිශ්‍රණයකි. මේ අංශ තුනම එහි ජනජීවිතයට බෙහෙවින් සමීපව පවතී. එලෙසම ක්‍රිකට් ක්‍රීඩාවට මොරටුවෙන් බිහිවූ මෙන්ඩිස් ක්‍රීඩකයන් රැසකි. ශ්‍රී ලංකා ටෙස්ට් නායකයෙකු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරියෙකු හා ඕමානයේ වත්මන් ජාතික ක්‍රිකට් පුහුණුකරු දුලිප් මෙන්ඩිස්,අජන්ත මෙන්ඩිස්,හේමාල් මෙන්ඩිස් සහ ජීවන් මෙන්ඩිස් මෑතකදී බිහිවු ඉන් කිහිපදෙනෙකි.

මේ ලිපියෙහි මාතෘකාව වන කුසල් මෙන්ඩිස් ද මේ ප්‍රදේශයේ ඉපද අධ්‍යාපනය ලබා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පවා කෙටි කළකදී නමක් දිනාගත් ක්‍රීඩකයෙකි. වාත්‍ය දෙකකින් සාරංශගතව ඔහුගේ දක්ෂතා ප්‍රකාශයට පත් කළ හැකිය. 24 හැවිරිදි කුසල් මෙන්ඩිස් 2015 ඔක්තෝබරයේ ටෙස්ට් පිටියට පිවිස වසර තුනහමාරක් තුළ ටෙස්ට් ඉනිම් 75කදී ශතක හයක් සහ අර්ධ ශතක නවයක් සමග ලකුණූ 2639ක්ද එක්දින තරග ඉනිම හැටකදී ශතකයක් හා අර්ධ ශතක 14ක් සමග ලකුණු 1626ක්ද ලබා සිටින ජගත් මට්ටමේ දක්ෂතම පිතිකරුවෙකි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රෙය් අනාගතයට මොහු යහපත් ආයෝජනයකි.

Kusal Mendis

1995 පෙබරවාරි 2 වැනිදා මොරටුවේ දී උපත ලද කුසල් මෙන්ඩිස් මොරටුව වේල්ස් කුමාර විදුහලෙන් අධ්‍යාපනය ලැබීය. 2013 වසරේ දක්ෂතම හා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස තේරුණු මොහු ශ්‍රී ලංකා අවුරුදු 19න් පහල නායකත්වයට හා තරුණ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ලංකා තරුණ කණ්ඩායමේ නායකත්වයට පත්විය. ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගිවීමට පෙර බ්ලුම්ෆීල්ඩ් පිල නියෝජනය කරමින් ඔහු පළමු ශ්‍රේණියේ තරග 16කට පමණක් සහභාගිවී ශතකයක් පමණක් ලබා සිටියේය. 2015 වසරේ ඔක්තෝම්බර් මස ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගය කුසල් සහභාගි වූ ප්‍රථම ටෙස්ට් තරගයයි.

කුසල් මෙන්ඩිස්ගේ ප්‍රථම ටෙස්ට් ශතකය වූයේ මහනුවර පල්ලේකුලේ ඕස්ට්‍රේලියාව සමග ප්‍රථම ටෙස්ට් තරගයේ ඔහු ලබාගත් ලකුණු 176වේ. එම ඉනිමේ ලංකා පිතිකරුවන් අතුරින් ඉන්පසු වැඩිම ලකුණූ ලැබූ පිතිකරුවා රැස්කළේ ලකුණු 55කි.කුසල් මෙන්ඩිස් ඉන්පසුව ද්විත්ව ශතක අසළට කිහිපවරක් පැමිණියත් ඔහුට ඒවා ද්විත්ව ශතක බවට පරිවර්තනය කළ හැකි නොවීය.

තාක්ෂණය අතින් ඉහළම මට්ටමේ (ජාත්‍යන්තර)සිටින මොහු ශ්‍රී ලංකාවේ ප්‍රබලම පිතිකරුවන් සිව්දෙනා අතර සිටී. කුසල්ගේ පියා වඩු කර්මාන්තයට සම්බන්ධය. පියා පුතා සමග කුඩා කළ ගෙමිදුලේ ක්‍රිකට් ක්‍රීඩා කර පසුව අපොන්සුගේ ක්‍රිකට් ඇකඩමියට යැවීය. කුසල් ටෙස්ට් තරග 38කදී (ඉනිම 75යි) ලකුණු 2639ක් ලබා සිටින්නේ ඉනිමක සාමාන්‍ය ලකුණු 36.65ක් ලබාගනිමිනි. ඉනිමක වැඩිම සංඛ්‍යාව 196කි.එක්දින ඉනිම 60කදී ලකුණු 1626ක් ලබා සිටින්නේ ඉනිමක සාමාන්‍ය 28.3ක් ලෙසිනි. ඉනිමක වැඩිම සංඛ්‍යාව 102කි. ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගත නායකත්වයට ද මොහු සුදුස්සෙකි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-