කොදෙව් පිල ප්‍රථම ටෙස්ට් තරගය ජය ගනී

Thanathillen Eha_1

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කොදෙව් කණ්ඩායමට ලකුණු 226ක පහසු ජයක් අත්වී තරග තුනක තරගාවලිය ඔවුන් දැනට 1-0ක් ලෙස ඉදිරියෙන් පසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයට ඉදිරිපත්වූයේ පිතිකරුවන් පස්දෙනෙකු වේගපන්දු යවන්නන් තිදෙනෙකු දග පන්දු යවන්නන් දෙදෙනෙකු හා කඩුලු රකින්නා සමගිනි.ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී ලබාගත්තේ මුල් ඉනිමේ දී ලකුණු 185ක් සහ දෙවන ඉනිමේ දී ලකුණු 226ක් පමණකි. ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් දෙවන ඉනිමේදී ලකුණු 102ක් ලබා මේ තරගයේ ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලැබූ පිතිකරුවා බවට පත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනත් එකම පිතිකරුවෙකුට හෝ ඉනිම දෙකේදීම අර්ධ ශතකයක් හෝ ලබා ගැනීමට අවස්ථාවක් නොලැබීම ලංකා කණ්ඩායමට සාර්ථක ඉනිමක් ගොඩනැගීමට අවස්ථාවක් නෙලැබීමට ප්‍රධානම හේතුව විය.

© CWI Media/Randy Brooks of Brooks Latouche Photography

© CWI Media/Randy Brooks of Brooks Latouche Photography

මේ   ටෙස්ට් තරගයේ ලංකා කණ්ඩායමේ අසාර්ථකත්වයට  ප්‍රධානම හේතු වු පිතිකරුවන්ගේ අසාර්ථකත්වය සකසා ගැනීම ශාන්ත ලුෂියාහි ඇරැඹෙන දෙවන ටෙස්ට් තරගයේදී ලංකා කණ්ඩායමේ ප්‍රධානම අරමුණ විය යුතුවේ. දෙවන ටෙස්ට් තරගයට ලංකා කණ්ඩායම අනිවාර්යෙන්ම පිතිකරණ අංශය ශක්තිමත් කරගත යුතුය. ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලම අංශය පිතිකරණය වන අතර ලංකා කණ්ඩායම අනිවාර්යෙන්ම දෙවන ටෙස්ට් තරගයේදී මීට වඩා ලකුණු අතරට ඒමට අවස්ථාව තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි දක්ෂතා දෙස බලන විට ඔවුන් මුල් ඉනිමේදී ලකුණු 147කට කඩුලු පහක් දැවී අසීරු තත්ත්වයක සිටියදී එස්.ඩොවිච් ලකුණු 125ක්ද හෝප් ලකුණු 44ක්ද බිෂු ලකුණු 40ක්ද චේස් ලකුණු 38ක් ද ලබා අවදානම් තත්ත්වයෙන් කණ්ඩායම ගොඩ ගත්හ. හයවන කඩුල්ලට ලකුණු 90ක්ද හත්වන කඩුල්ලට ලකුණු 102ක්ද අටවන  කඩුල්ලට ලකුණු 79ක්ද රැස් කිරීමෙන් කොදෙව් පිතිකරුවෝ තමන්ට ප්‍රමාණවත් ලකුණු සංඛාවක් ලබා ගැනීමට වග බලාගත්හ.

ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ රෝච්(34ට 2යි) ගේබ්රියල් (48ට 2යි) හා කමින්ස්(39ට 3යි) යන වේගපන්දු යවන්නන් තිදෙනා ඉදිරි පෙළ කඩුලු හතක්ම දවාලමින් ලංකා මුල් ඉනිම සීමා කළේ ලකුණු 185කටය. මේ ඉනිමේ වැඩිම ලකුණු ලැබූවේ දිනේෂ් චන්දිමාල් (ලකුණු 44යි) සහ නිරෝෂන් දික්වැල්ල (ලකුණු 31යි) පමණකි. දික්වැල්ල ලකුණක් කරා ඉතා සෙමින් ඇවිදීමෙන් මෙන් දුවයාමට ගොස් දැවීයාම කණගාටුවට කරුණකි.

කොදෙව් පිල දෙවන ඉනිම කඩුලු 7කට ලකුණු 223කට (ඕවර 72යි) සීමා කර ගැනීමට ලංකා පිල සමත්විය. ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂතම පන්දු යැවීම ළහිරු කුමාරගෙන් දක්නට ලැබුණු අතර ඔහු මුල් ඉනිමේදී කඩුලු හතරක්ද දෙවන ඉනිමේදී කඩුලු තුනක් ද ලබා සම්පූර්ණ තරගයේ කඩුලු හතක් දවාලූවේ ලකුණු 145ක් දීමෙනි.

ශ්‍රී ලංකා දෙවන ඉනිමේදී ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 210කට මුහුණදී හතරේ දහයක් හයේ දෙකක් සමග ලකුණු 102ක් ලබා විශිෂ්ට පිතිහරඹයක නිරතවිණි. ලංකා ආරම්භක පිතිකරුවන් සමග නායක දිනේෂ් චන්දිමාල් ඇන්ජලෝ මැතිව්ස්,රොෂේන් සිල්වා හා කුසල් මෙන්ඩිස් දෙවන ටෙස්ට් තරගයේ ලකුණු අතරට ප්‍රවිෂ්ට වීම එම තරගයේ ලංකා සාර්ථකත්වයක් ලැබීමට බෙහෙවින් බලපානූ ඇත.

බටහිර ඉන්දීය කොදෙව් මුල් ඉනිම කඩුලු 7ට 414යි.

එස්.ඩොවිච් 125යි,ජේසන් හෝල්ඩර් 40,එස්.හෝප් 44යි. ඩී.බිෂු 40යි ළහිරු කුමාර 95ට 4යි.සුරංග ලක්මාල් 55ට 2යි.

ශ්‍රී ලංකාව මුල් ඉනිම 185යි

දිනේෂ් චන්දිමාල් 44යි නිරෝෂන් දික්වැල්ල 31යි රෝච් 34ට 2යි එස්.ගේබ්රියල් 48ට 2 එම්.කමින්ස් 39ට 3

කොදෙව් දූපත් දෙවන ඉනිම කඩුලු 7ට 223යි.

කේ.පවල් 88යි ජේ.හෝල්ඩර් 39යි ළහිරු කුමාර 40ට 3 රංගන හේරත් 52ට 3

ශ්‍රී ලංකාව දෙවන ඉනිම 226යි

කුසල් මෙන්ඩිස් 102 ඇන්ජලෝ මැතිව්ස් 31 දිනේෂ් චන්දිමාල් 27 ආර්.චේස් 15ට 4 ඩී.බිෂු 48ට 3යි.

-බන්දුල මොල්ලිගොඩ-

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-