කොළඹ දඹුල්ල 20-20 අවසාන තරගයට තේරේ

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන 2018 වසරේ 20-20 ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයට කොළඹ සහ දඹුල්ල කණ්ඩායම් තේරී සිටිති. අවසාන මහා තරගය ලබන ඉරිදා (2) මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වීමට නියමිතය.

මේ  තරගාවලියේදී  කොළඹ හා දඹුල්ල කණ්ඩායම් තරග හතර බැගින් ජය ගෙන ලකුණු අට බැගින් ලබා සිටිති. කොළඹ පිලට මූලික වටයේ ප්‍රථම ස්ථානය හිමිවන්නේ ලකුණු රැස්කිරීමේ වේගය මතය. ගාල්ල සහ මහනුවර කණ්ඩායම් තරග දෙක බැගින් ජය ගෙන ලකුණු හතර බැගින් ලබා ගත් අතර ලකුණු රැස්කිරීමේ වේගය මත තෙවන ස්ථානය හිමිවන්නේ මහනුවරටයි.

මේ අතර මේ තරගාවලියේ මූලික වටයේ අවසාන තරග දෙක බ්‍රහස්පතින්දා(30) මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති අතර එහිදී දඹුල්ල සහ මහනුවර කණ්ඩායම් ජයග්‍රහණය අත්කර ගත්හ. දඹුල්ල සහ ‍කොළඹ අතර විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයෙන් දඹුල්ලට ලකුණු පහක තියුණු ජයග්‍රහණයක් අත්විය. මහනුවර සහ ගාල්ල අතර තරගයේදී මහනුවර කණ්ඩායමේ දසුන් ශානක පන්දු 52කදී නොදැවී ලකුණු 105ක් (හතරේ 13, හයේ 05යි) රැස් කිරීම මත මහනුවරට කඩුලු පහක පහසු ජයග්‍රහණයක් අත්විය.

I Udana (1)

කොළඹ හා දඹුල්ල අතර තරගයේ ආරම්භයේදී කොළඹ නායක දිනේෂ් චන්දිමාල්ගේ ඇගිල්ලක් පොලවේ වැදී තුවාල විමෙන් චන්දිමාල් ඉන්පසුව පන්දු රැකීමට හෝ පන්දුවට පහර දීමට පිටියට පිවිසියේ නොමැත.

  • දඹුල්ල ලකුණු පහකින් කොළඹ පරාජය කරයි.
  • දඹුල්ල ඕවර 20කදී කඩුලු හයකට 140යි.

වනිදු හසරංග නොදැවී 26යි, ඉසුරු උදාන නොදැවී 41යි, ජීවන් මෙන්ඩිස් 23ට 3යි,

  • කොළඹ ඕවර 20 කඩුලු 8ට ලකුණු 135යි.

ප්‍රියමාල් පෙරේරා 46යි, ෂම්මු අෂාන් 32, අමිල අපොන්සු 13ට 3යි.

  • මහනුවර කඩුලු 5කින් ගාල්ල පරාජය කරයි.
  • ගාල්ල ඕවර 20දී කඩුලු පහට 196

කුසල් මෙන්ඩිස් 43, ඇන්ජලෝ පෙරේරා 47, චරිත් අසලංක 14ට 4යි

  • මහනුවර ඕවර 19.2දී කඩුලු 5ට 199යි.

ඇන්ජලෝ මැතිව්ස් 46, දසුන් ශානක නොදැවී 105යි, ධනංජය ද සිල්වා 9ට 2යි.

බන්දුල මොල්ලිගොඩ