කොළඹ 20-20 සූරතාව දිනයි

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවූ 20-20 අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ඉරිදා (02) මාලිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී විදුලි ආලෝකය මධ්‍යයේ රාත්‍රි පැවැති අවසාන මහා තරගයේදී දඹුල්ල කණ්ඩායම කඩුලු හතකින් පරාජය කරමින් කොළඹ කණ්ඩායම සූරතාව දිනා ගත්තේය.

දඹුල්ල කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දී ඕවර 20දී කඩුලු අටකට ලබාගත් ලකුණු 163ට පිළිතුරු ලෙස කොළඹ පිල කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 167ක් ලබා මේ පහසු ජයග්‍රහණය වාර්තා කළේ ඕවර 18.2කදීය.

තරගයේ වීරයා ලෙස කොළඹ කණඩායමේ උපුල් තරංගත් තරගාවලියේ වීරයා ලෙස ධනුෂ්ක ගුණතිලකත් (දඹුල්ල) තේරිණි. ජයග්‍රාහී පිලට රුපියල් ලක්ෂ 20ක්ද අනුසූරයන්ට රුපියල් ලක්ෂ 15ක්ද පිරිනැමිණි. සූරතාව දිනු කොළඹ කණ්ඩායමට උපුල් තරංග නායකත්වය දුන් අතර අනූසූරයන් වූ දඹුල්ල කණ්ඩායමේ නායකයා වූයේ ඉසුරු උදානය. දේශීය අවසාන මහා තරගයක් නැරඹීමට 8000ක පමණ විශාල ජනකායක් පැමිණසිටීමද විශේෂත්වයකි. ගිනිකෙළි දර්ශන, පිතිකරුවන් ක්‍රීඩාලෝලීන්ට උඩපන්දු ලබාදීම, ටී ෂර්ට් සහ හිස්වැසුම් (කැප්) නොමිලේ ප්‍රදානය කිරීමද මෙහිදී සිදුකැරිණි.

Team Colombo win SLC T20 League 2018_DSC_3785

ලකුණු 164ක පහසු ජයග්‍රහණ ඉලක්කයක් කරා යාමට කොළඹ පිල පැමිණි අවස්ථාවේ කොළඹ නායක උපුල් තරංග පන්දු 55ක දී හතරේ පහර හයක් සහ හයේ පහර නවයක් සමග නොදැවී ලකුණු 104ක් ලබා තම පිල පහසු ජයග්‍රහණයක් කරා ගෙන ගියේය. මෙය තරංගගේ මේ තරගාවලියේ දෙවන ශතකයයි. තරංග ලකුණු 21ක් ලබා සිටියදී අෂාන් ප්‍රියංජන් පන්දුවකට දුන් උඩ පන්දුව තිසර පෙරේරා අතින් අතහැරුණි. එය රැකගත්තේ නම් මේ තරගය මීට වඩා උණුසුම් වනු නිසැකය.

කොළඹ සිව්වැනි කඩුල්ලට තරංග සහ ෂෙහාන් ජයසූරිය (නොදැවී 35) පන්දු 48කදී ලබා ගත් ලකුණු 90 කොළඹ පිල පහසු ජයග්‍රහණයකට ගෙන ගියහ.

කාසියේ වාසිය දිනා දඹුල්ල මුලින් පන්දුට පහරදීමට පැමිණි අවස්ථාවේ මුල් ලකුණු 02දී ධනුෂ්ක ගුණතිලකත් ලකුණු 18දී දිල්රුවන් පෙරේරාත් දැවී යාමෙන් දඹුල්ල පිල අසීරු තත්ත්වයට පත්විණි.මේ අවස්ථාවේ ආරම්භක පිතිකරු රමිත් රඹුක්වැල්ල පන්දු 40කදී හතරේ හතක් හයේ තුනක් ලකුණු 57ක් ලබා තම පිල ස්ථාවර තත්ත්වයකට ගෙන ආවේය.

රමිත් රඹුක්වැල්ල සහ අෂාන් ප්‍රියංජන් සිව්වැනි කඩුල්ලට පන්දු 31කදී ලකුණු 44ක්ද හසිත බෝයගොඩ (40) සහ වනිදු හසරංග (26) හත්වැනි කඩුල්ලට එක්කළ ලකුණු 59ක සබදතාව මත දඹුල්ල පිලට ලකුණු 163ක් වැනි සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව උදාවිණි. පල්ලේකැලේ තරගයේදී දණහිසේ ආබාධයකට ලක්වූ ‍කොළඹ නායක දිනේෂ් චන්දිමාල් මේ තරගයට සහභාගි වූයේ නොමැත.

ලකුණු විස්තරය

  • දඹුල්ල ඕවර 20දී කඩුලු 8ට 163යි

ධනුස්ක ගුණතිලක 02 රමිත් රඹුක්වැල්ල 57, ඩිල්රුවන් පෙරේරා 06, සධීර සමරවික්‍රම 10, අෂාන් ප්‍රියංජන් 09, තිසර පෙරේරා 04, හසිත බෝයගොඩ 40, වනිදු හසරංග 22, ඉසුරු උදාන නොදැවී 00, එස්.මධුසංක නොදැවී 04, අකිල ධනංජය 37ට 2, ජීවන් මෙන්ඩිස් 27ට 2යි.

  • කොළඹ ඕවර 18.2දී කඩුලු 3ට 167යි

අවිශ්ක ප්‍රනාන්දු 02, උපුල් තරංග නොදැවී 104, ළහිරු මධුසංඛ 11,ප්‍රියමාල් පෙරේරා 12, ෂෙහාන් ජයසූරිය නොදැවී 35, අමිල අපොන්සු 27ට 1

බන්දුල මොල්ලිගොඩ