ගාල්ල සුපිරි එක්දින සූරයෝ වෙති

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහයවූ අන්තර් පළාත් සුපිරි හතර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගයේ දී ගාල්ල කණ්ඩායම ලකුණු 75කින් කොළඹ පරදා සූරතාව දිනා ගත්තේය.

මාළිගාවත්ත ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී  කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු හතක් දැවී ලබාගත් ලකුණු 320ට පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායම ඕවර 44.2 කදී සියලු පිතිකරුවන් දැවී ලබාගත්තේ ලකුණු 245කි.

සූරතාව දිනු ගාල්ල කණ්ඩායමට කුසලානය සමග රුපියල් දස ලක්ෂයක මුදලක් ද අනු සූරතාව හිමිකර ගත් කොළඹ කණ්ඩායමට අනු සූරතාව සමග රුපියල් හත් ලක්ෂ පණස් දහසක් පිරි නැමිණි. සුපිරි හතර තරගාවලියේ වීරයා ලෙස තේරුණේ කොළඹ කණ්ඩායමේ ෂෙහාන් ජයසූරියයි. අවසාන මහ තරගයේ වීරයා වූයේ මෙදින ශතකයක් රැස්කළ ගාල්ල කණ්ඩායමේ නායක උපුල් තරංගය.

Dasun Shanaka and Upul Tharanga with Super Provincial Trophies_D4W9965x

ගාල්ල පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ නායක උපුල් තරංග සහ රමිත් රඹුක්වැල්ල මුල් විකට්ටුවට ඕවර 8.4 කදී ලකණු 50ක්ද දෙවන විකට්ටුවට තරංග සහ සධීර සමරවික්‍රම ඕවර 23.1කදී ලකුණු 125ක්ද රැස්කරමින් තම කණ්ඩායමට ස්ථාවර අඩිතාලමක් දමා දුන්හ. මෙහිදී නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ උපුල් තරංග පන්දු 122කට මුහුණ දී හතරේ 13ක් හයේ තුනක් සමග ලකුණු 124ක්ද සධීර සමරවික්‍රම පන්දු 71කදී හතරේ හතරක් සමග ලකුණු 62ක්ද දසුන් ශානක පන්දු 33කදී හතරේ දෙකක් හයේ පහරක් සමග ලකුණු 31ක්ද භානුක රාජපක්ෂ පන්දු 319කදී හතරේ දෙකක් හයේ දෙකක් සමග ලකුණු 29ක්ද රැස් කළහ. කොළඹ කණ්ඩායමේ ලක්ෂාන් සදකැන් ලකුණු 66කට කඩුලු හතරක් දවාලූවේය.

කොළඹ කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය (51) කමිදු මෙන්ඩිස් (41) සහ ඇන්ජලෝ පෙරේරා (40) ගාල්ලට තර්ජනයක් වෙමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යාමට උත්සහ දරන අයුරු දිස්වුවත් ඔවුනට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව නොලැබීම එම කණ්ඩායමේ අසාර්ථකත්වයට හේතුවිණී. ෂෙහාන් ජයසූරිය පන්දු 40කදී හතරේ නවයක් සමග ලකුණු 51ක් ද කමිදු මෙන්ඩිස් පන්දු 38කදී හයේ පහරක් හතරේ හතරක් සමග ලකුණු 41ක් ද ඇන්ජලෝ පෙරේරා පන්දු 47කදී හයේ පහරක් හතරේ හතරක් සමග ලකුණු 40ක්ද ලැබූහ. මලින්ද පුෂ්පකුමාර ලකුණු 31කට කඩුලු තුනක්ද නිශාන් පීරිස් ලකුණු 57කට කඩුලු තුනක්ද දවාලූහ.

-බන්දුල මොල්ලිගොඩ-

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-