ජගත් ක්‍රිකට් සමුළුවේ තීරණය අප පිළිගන්නවා – ක්‍රීඩා ඇමති

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් දෙවන ටෙස්ට් තරගයේදී පන්දුවේ හැඩය වෙනස් කිරීමට උත්සහ කළායැයි කියන සිදුවීම අප පිළිගන්නේ නෑ.චන්දිමාල්ට තරග තහනමක් පැනවීමට තීරණය කළ අවස්ථාවේ ජගත් ක්‍රිකට් සමුළුවට අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කළේත් චන්දිමාල්ගේ අවංකභාවය මතයි. එසේ වුවත් ජගත් ක්‍රිකට් සමුළුව මේ සම්බන්ධයෙන් ලබා දුන් තීන්දුව නිහතමානීව පිළිගන්නා බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. ක්‍රීඩා අමාත්‍යවරයා මේ අදහස් පළකළේ  බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් සංචාරය නිම කර ආපසු  ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට්  ආයතනයේදී පැවැත් වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

එම සිද්ධිය සිදුවූ අවස්ථාවේ මා ක්‍රිකට් ආයතනයෙන්, හිටපු පරිපාලකයන්ගෙන් හා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් මේ පිළිබදව උපදෙස් ලබා ගත්තා. අපගේ තීරණය වූයේ අප ඉක්මණින් නැවත තරගයට සහභාගිවිය යුතු බවයි. මේවගේ අවස්ථාවක කණ්ඩායම ක්‍රියා කරන්නේ තම නායකයා බේරා ගැනීමේ අරමුණිනුයි. ඒ ඔහුට තියෙන ආදරය නිසයි. මෙවැනි සිදුවීම් වලදී ආවේගයට පත්වීම ස්වභාවිකයි.ඒ වුණත් තරගයට නියමිත වේලාවට සහභාගි නොවීම තමා පෞද්ගලිකව අනුමත නොකරන බවද ෆයිසර් මුස්තාපා මහතා කීවේය.

Faiszer Musthapha_D3S5867x

මා මේ අවස්ථාවේ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වත්මන් හා හිටපු ක්‍රීඩකයන්,පරිපාලකයන් ඇතුළු සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ කල්ලිවාදයෙන් මිදී එකමුතුවී ජනතාව ආදරය කරන මේ ක්‍රීඩාව ඉදිරියට ගෙන යමු කියලයි.අප ලෝක සූරතා දෙවරක් දිනා සිටිනවා. ජනතාව තම ආගමට පසුව ගරු කරන්නේ මේ ක්‍රීඩාවටයි. වාද බේද දුරු කර එකමුතුව ක්‍රිකට් ක්‍රීඩාව අප රැකගත යුතු යැයි ද ක්‍රිඩා අමාත්‍යවරයා පැවසීය.

ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් අදහස් දක්වමින් පන්දුව පළදු කිරීමට කිසිම අපේක්ෂාවක් නොතිබූ බවත් එසේ වුවද ජගත් ක්‍රිකට් සමුළුව දුන් තීරණය තමා පිළිගන්නා බවත් කිවේය.ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීමට තමා සැමවිටම ක්‍රියාකරන්නේ යැයිද චන්දිමාල් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරණ අසංක ගුරුසිංහ අදහස් දක්වමින් ජගත් ක්‍රිකට් සමුළුවේ නීතිරීති පිළිබද තමා හොදින් දන්නා බවත් චන්දිමාල් සම්බන්ධ සිද්ධිය වූ අවස්ථාවේ සියලු අංශවලින් තමා උපදෙස් ගත් බවත් කීය.තරගය පැය දෙකක් ප්‍රමාද වීමට තම කණ්ඩායමේ ප්‍රමාදය පමණක් නොව තරග තීරකවරයා කණ්ඩායම් දෙක සමගත් ජගත් සමුළුව සමගත් සාකච්ඡා කිරීමට ගත් කාලවේලාවද ඊට අයත් වන්නේ යැයි ද කීවේය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-