ජයග්‍රාහී මානසිකත්වයකින් ලංකාපිල කොදෙව් දේශයට

Thanathillen Eha_1

ක්‍රීඩකයන් දහසයකින් (16) සමන්විත ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම සිකුරාදා (25) මධ්‍යම රාත්‍රි බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා ක්‍රිකට් ආයතනයෙන් පිටත්ව ගියහ. එහිදී ලංකා කණ්ඩායම පස්දින ටෙස්ට් ක්‍රිකට් තරග තුනකට සහභාගීවේ.  ලංකා කණ්ඩායම ඩුබායි නිව්යෝර්ක් හරහා ට්‍රිනිඩෑඩ් බලා යති.

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ලංකා කණ්ඩායම මේ සංචාරයේදී ට්‍රිනිඩෑඩ් (ජූනි 6 – 10) ශාන්ත ලූෂියා (ජූනි 14-18) බාබඩෝස්හි (ජූනි 23-27) ටෙස්ට් තරග තුනට සහභාගි වෙති.  අවසාන ටෙස්ට් තරගය ඩියුක් රෝස පැහැති පන්දුවෙන් පැවැත්වෙන්නේ දිවා – රාත්‍රී තරගයක් ලෙසිනි.  මෙය කොදෙව් දූපත්හි පැවැත්වෙන ප්‍රථම දිවා – රාත්‍රී පස්දින ටෙස්ට් තරගයයි.  ටෙස්ට් තරගාවලිය ආරම්භවීමට පෙර ලංකා කණ්ඩායම මැයි 30 ජූනි 1 දක්වා එක්දින පුහුණු තරගයකට සහභාගිවන්නේ ට්‍රිනිඩෑඩ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදීය.  මේ සංචාරයට එක්දින තරග හෝ 20-20 තරග අයත් නොවේ.

Dinesh Chandimal addressing Media

දිනේෂ් චන්දිමාල්, කුසල් මෙන්ඩිස්, මහේල උඩවත්ත, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, ඇන්ජලෝ මැතිව්ස් හා නිරෝෂන් දික්වැල්ල පිතිකරුවන් ලෙසත් රංගන හේරත්, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය සහ ජෙෆ්රි වැන්ඩසේ දඟපන්දු යවන්නන් ලෙසත් සුරංග ලක්මාල්, ළහිරු ගමගේ, කසුල් රාජිත, ළහිරු කුමාර හා අසිත ප්‍රනාන්දු වේග පන්දු යවන්නන් ලෙසත් කණ්ඩායමට නම් කර තිබිණි.  ධනංජය ද සිල්වාගේ පියා සිකුරාදා උදෑසන හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ හෙයින් ඔහු කණ්ඩායම සමග නොයාමට තීරණය කළ අතර, පසුව කණ්ඩායමට එක්වීමට ඉඩතිබේ.  චන්දිමාල්, දික්වැල්ල හා කුසල් ජනිත් යන තිදෙනාගෙන් අයෙකු කඩුලු රැකීමෙහි නිරතවනු ඇත.

ලංකා කණ්ඩායම බදාදා (23) සවස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවන්ට සහභාගි වී සංචාරයට පෙර ආශිර්වාද ලබාගත්හ.  සිකුරාදා (25) සවස 5ට පිටත්වයාමට පෙර ක්‍රීඩකයන්ගේ නෑදෑහිතවතුන් ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිටදී ඔවුනට සුභපැතූහ.

අන්තර් ජාතික ක්‍රිකට් සමුළුවේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම හයවන ස්ථානයටත් බටහිර ඉන්දීය කොදෙව් දූපත් පිල නවවන ස්ථානයටත් ශ්‍රේණිගතව සිටී.  තරගාවලියට යාමට පෙර ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේ අන්තර් පළාත් සිව්දින හා එක්දින තරගාවලියේදීත් ඉන්පසු මහනුවර පල්ලේකැලේ සතිදෙකක පුහුණුවකදීත් ශ්‍රී ලංකා පිල මනා පෙර සූදානමක් ලබා ජයග්‍රාහී මානසිකත්වයකින් පසුවන බවත් මේ තරගාවලිය ජයගැනීම ලංකා කණ්ඩායමේ ඒකායන අරමුණ බවත්ය.

– බන්දුල මොල්ලිගොඩ –  

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-