ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ තරුණ ක්‍රීඩිකාවන් ඇතුළත් කිරීමේ සැලසුමක්

Thanathillen Eha_1

ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට දක්ෂ තරුණ ක්‍රීඩිකාවන් සැපයීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසරේ ක්‍රියාත්මක කළ දීපව්‍යාප්ත පුහුණු වැඩ සටහනේ ප්‍රගතිය දැන් දක්නට ඇතැයි ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් අංශ ප්‍රධානී අප්සාරී තිලකරත්න මහත්මිය ප්‍රකාශ කරයි.

අන්තර් දිස්ත්‍රික් හා පළාත් මට්ටමින් දස්කම් දැක්වූ තරුණ ක්‍රීඩිකාවන් තිහක් සංවර්ධන කණ්ඩායමකට නම් කර ඔවුනට එතෙර මෙතෙර තරග පුහුණුව ලබා දී සැඟව තිබූ දස්කම් උද්දීපනය කර ගැනීමට අවස්ථාව සැලසූ බවද තිලකරත්න මහත්මිය සඳහන් කළාය. මේ ක්‍රීඩිකාවන් අතුරින් හත් අට දෙනෙකු දැනටමත් නැගී එන (එමර්ජින්) කණ්ඩායමට තෝරාගෙන සිටින බවද ඇය පවසයි.

සංවර්ධන කණ්ඩායමට අයත්ව සිටි රත්ගම දේවපතිරාජ විදුහලේ 18 හැවිරිදි කවීෂා දිල්හාරි දැනටමත් ජාතික සංවිතයට සුදුසුකම් ලබා ලබන මාර්තු මස ශ්‍රී ලංකා වට පැමිණෙන පාකිස්ථාන කාන්තා ක්‍රිකට් පිල සමඟ තරග කිරීමට සුදුසු තත්ත්වයක පසුවේ. මේ ක්‍රීඩිකාව හා නැගී එන සංචිතයට ඇතුළත් වූ ක්‍රීඩිකාවන් අටදෙනාට අධිතාක්ෂණ ඒකකයේ පුහුණුව ලබා දීමට නියමිතය.

නැගී එන ක්‍රීඩිකාවන් සංචිතයට අයත් ක්‍රීඩිකාවන් නුදුරු අනාගතයේදීම ජාතික සංචිතයට ඇතුලත් වනු ඇත. මේ අතර සංවර්ධන කණ්ඩායමේ ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා දක්ෂ බාලිකාවන් ඊට ඇතුළත් කිරීමට පාසල් ක්‍රිකට් සංවර්ධනය කිරීමටද වැඩපිළිවෙලක් සකසා ඇත. මේ අනුව බාලිකා පාසල්  මහ ක්‍රිකට් තරග මහජනයා අතර ජනප්‍රිය කිරීමටද පියවර ගෙන තිබේ.ගිය වසරේ මහ ක්‍රිකට් තරග දහයකට සීමාවූ බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග ප්‍රමාණය මෙවර 15 දක්වා වැඩි වී ඇත.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-