ටෙස්ට් තරගයේදී අපට වැඩි දස්කම් අපේක්ෂා කළ හැකියි

සීමිත ඕවර තරගාවලියේදී ශ්‍රී ලංකාව නොබෝදා සිම්බාබ්වේට පරාජයට පත්වූවත් කණ්ඩායම් දෙක අතර ජූලි 14 වැනිදා මාලිගාවත්ත ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වන පස්දින ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි ගෞරවයන් අත්කර ගනු ඇතැයි අපෙක්ෂා කැරේ.

කණ්ඩායම් දෙක මෙවර ටෙස්ට් තරගයකට සහභාගි වන්නේ 18 වන වතාවටය.  මීට පෙර තරග 17න් ශ්‍රී ලංකාව තරග 12ක් ජයගෙන ඇති අතර පහක් විසඳුමකින් තොරව කෙළවරව තිබේ.  මීට පෙර පැවැති තරගාවලියන් හතෙන් ශ්‍රී ලංකාව තරගාවලි හයක් ජයගත් අතර 1994 – 95  ප්‍රථම තරගාවලිය පමණක් තරග තුනම ජය පරාජයෙන් තොරව කෙළවර විණි.  1999 – 2000 තරග තුනක තරගවලිය ශ්‍රී ලංකාව ජයගත්තේ 1 – 0 කිනි.

DSC_8448

සෙසු තරගාවලියන් පහේදීම ශ්‍රී ලංකාව සියලු තරග ජයගෙන තිබේ.  තෙවතාවක් තරග තුන බැගින්ද (94, 99, 2001) සිව්වතාවක් තරග දෙක බැගින්ද (96, 97- 98, 2004, 2016) පැවැත්වීය.  ශ්‍රී ලංකාව 1994 සිට මෙතෙක් එකම ටෙස්ට් තරගයකින් හෝ සිම්බාව්වේ පිලට පරාජය වී නොමැත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයට සහභාගි වන්නේ පන්දු යැවීමේ අංශයේ ප්‍රබලම තත්ත්වයකට පත්වෙමිනි.  දඟපන්දු යවන රංගන හේරත්, දිල්රුවන් පෙරේරා වේගපන්දු යවන සුරංග ලක්මාල් ළහිරු කුමාර ඉදිරියේ සිම්බාබ්වේ පිතිකරුවනට ලකුණු අතරට ඒම එතරම් පහසු කාර්යයක් නොවේ.  සිම්බාබ්වේ පිතිකරුවන් දක්ෂ දඟ පන්දු යවන්නට මුහුණදීමේදී අතීතයේ සාර්ථක වී නොමැත.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ ටෙස්ට් තරගයට මුහුණ දෙන්නේ නව නායක 28 හැවිරිදි දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙනි.  චන්දිමාල්ට හිටපු නායකයන් තිදෙනෙකු වන ඇන්ජලෝ මැතිව්ස්, රංගන හේරත් සහ උපුල් තරංගගේ සේවය හිමිවේ.  චන්දිමාල් ශ්‍රී ලංකාවේ 16 වන ටෙස්ට් නායකයාය.  තරුණ ක්‍රීඩකයෙකු නායකත්වයට පුහුණු කිරීමට අත්‍යාවශ්‍ය අවස්ථාවක චන්දිමාල්ට මේ තනතුර පිරිනැමීම කාලෝචිතය.  චන්දිමාල් මෙතෙක් ටෙස්ට් තරග 36ක ට සහභාගි වී ඉනිම 65කට මුහුණ දී (නොදැවී ඉනිම් පහයි) ලකුණු 2540ක් ලබා ඇත්තේ ඉනිම සාමාන්‍ය ලකුණු 42.33ක් වන පරිදිය.  එය හොඳ සාමාන්‍ය ලකුණු ප්‍රමාණයකි.  ඊට ශතක අටක් හා අධි ශතක 11ක් ඇතුළත්ව තිබීමද විශේෂත්වයකි.  චන්දිමාල් මේ ඉනිම හැට පහේදී  හයේ පහර 18ක්ද හතරේ පහර 284ක්ද එල්ල කර තිබේ.  උඩපන්දු 69ක් අල්ලා ඇති මොහු කඩුලු රකින්නාගේ කාර්යය ඉටු කරද්දී සටම්ප් කිරීම් දහයක්ද ලබා ඇත.

නායකයා වශයෙන් පත්වීමෙන් පසු චන්දිමාල් ප්‍රකාශ කළේ තම උපරිමය කණ්ඩායම වෙනුවෙන් යොදවන බවත්, නුදුරු අනාගතයේදීම ශ්‍රී ලංකාවට සාර්ථක ප්‍රතිඵල ලබාදීමට අපේක්ෂා කරන බවත්ය.

පසුගිය වසරක කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැටීම්, නැගිටීම්, සාර්ථක වීම, අසාර්ථක වීම කිහිපයක්ම වරින්වර දක්නට ලැබිණි.  විවේචනද නිරන්තරයෙන් එල්ල විණි.  එය කණ්ඩායමටද නායකයාටද බලපෑ බවද නොරහසකි.  එවැනි අවස්ථාවක ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අතීතයේ පෑ දස්කම් නැවත පෙන්වීමට නව නායකයෙකු යටතේ කණ්ඩායම නැවත ප්‍රතිසංවිධානය කිරීම ද වැදගත්ය.

නායකත්වයෙන් නොබෝදා ඉවත් වූ ඇන්ජලෝ මැතිව්ස් තුන් ඉරියව්වේම දස්කම් පා ඇති ශ්‍රී ලංකාන බිහිකළ දක්ෂ ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයෙකු බවට වාදයක් නොමැත.  ඔහු තරගයක ස්වරූපය වෙනස් කළ හැකි අවසාන මොහොතේ දී පරාජයට පත්වීමට යන තරගයක් ජයග්‍රහණය කර ගෙන යා හැකි ක්‍රීඩකයෙකි.  මෙය මැතිව්ස් විසින් මහේල හා සංගක්කාර ක්‍රීඩා කරන අවධියේදී පවා සනාථ කර තිබේ.   එහෙත් මීට වසර හතරකට පෙර ඔහු නායකත්වයට පත්වීමෙන් පසු කණ්ඩායමේ ප්‍රගතිය පිළිබඳවද විමසා බැලිය යුතුවේ.  මීට සිව් වසරකට පෙර ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව පසු වූයේ එක්දින තරගයන්හි පස්වන ස්ථානයේත් ටෙස්ට් තරගාවලියන්හි හයවන ස්ථානයේත්ය.  වත්මන් තත්ත්වය අනුව දැන් පසුවන්නේ එක්දින අටවන ටෙස්ට් හත්වන හා 20 – 20 අටවන ස්ථානවලය.  2013 වසරේ සැළසුම වූයේ ශ්‍රේණිගත කිරීමේ දී ප්‍රථම ස්ථාන තුනට ඇතුළුවීමටය.  පසුබෑමට එක් ක්‍රීඩකයෙකු වගකිය යුතු නැතත් වත්මන් තත්ත්වය අනුව නැවත කණ්ඩායම පෙළගැසිය යුතු වේ.  ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විශ්‍රාම යාම ප්‍රධාන හේතුව වුවද අඩුපාඩු ඉක්මනින් සකසා ගැනීමට කාලය එළැඹ ඇත.

පසුගිය දිනවල මතු වූ පන්දු රැකීමේ යම් දුර්වලතා සිම්බාබ්වේ සමග ටෙස්ට් තරගයේදී නැවත සැකසෙනු ඇතැයි අපේක්ෂිතය.  දක්ෂ පිතිකරුවන් රැසක්ම ශ්‍රී ලංකා කණ්ඩායම සතුව සිටින අතර දීර්ඝ ඉනිම 4 – 5ක් පමණම අපේක්ෂා කැරේ.  මෙවර සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයට අයත්වන්නේ මේ ටෙස්ට් තරගය පමණි.  මීට ප්‍රධානම හේතුව ඉන්දීය කණ්ඩායම තව ස්වල්ප දිනකින් ශ්‍රී ලංකාවට පැමිණීමය.  ඔවුන් ජුනි 27 දා ගාල්ලේ දී ප්‍රථම ටෙස්ට් තරගයට සහභාගි වීමට නියමිතය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය

දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග (උපනායක), ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, දිමුත් කරුණාරත්න, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, අසේල ගුණරත්න, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, ලක්ෂාන් සඳකැන්, විශ්ව ප්‍රනාන්දු, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර

– බන්දුල මොල්ලිගොඩ –