“තරග දෙකක් නොපැවැත්වුවත් අප හොඳින් පුහුණුවනවා” – දිමුත් කරුණාරත්න

Thanathillen-Eha_3

වර්ෂාව මත තරග දෙකක්ම පැවැත්වීමට අවස්ථාවක් ලැබුණේ නැතත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දිනපතා උපරිම අයුරින් පුහුණුව ලබන බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට පසුගිය 4වැනිදා ඇෆ්ගනිස්ථානය තරගයෙන් පසුව, 7වැනිදා බ්‍රිස්ටල්හි පාකිස්තානය සමග තරගයත් 11වැනිදා එහිදීම බංග්ලාදේශය සමග තරගයත් වර්ෂාව මත අහිමිවිය. තරග දෙකකට සහභාගි නොවී තරග පුහුණුවක් නොමැතිව එකවරම ලබන සෙනසුරාදා (15) ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ දී ඕස්ට්‍රේලියාව සමග තරග වැදීමට සිදුවීම පිළිබඳව කළ පැනයකට පිළිතුරු දෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා එසේ ප්‍රකාශ කළේය.

තරග දෙකකට සහභාගි නොවුවත් අප මහන්සිවී හොඳින් පුහුණුවනවා. කණස්සල්ලකට ඇත්තේ මැදපෙළ පිතිකරුවන් ලකුණු අතර නොසිටීම පමණයි යනුවෙන් දිමුත් කරුණාරත්න ප්‍රකාශ කළේය. ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව මේ තරගාවලිය සඳහා තරගයකට පසුදින අමතර දිනයක් ලෙස හැඳින්වූයේ නම් වඩා උචිතවන්නේ දැයි විමසූවිට දිමුත් ප්‍රකාශ කළේ කණ්ඩායමකට තරග නවයකට සහභාගිවීමට සිදුවනවා. අමතර දිනයක් යෙදුවානම් ඊළග තරගයට යාමට යන දිනය තවත් පසුවේවි. මෙවැනි දීර්ඝ කාල සටහනක් ඇති තරගාවලියක් එවිට තවත් දීර්ඝවේවි යනුවෙනි.

Dimuth Karunaratne_D3S9854x

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරගය අත්හිටුවීමෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම දැනට තරගාවලියේ ශ්‍රේණිගත කිරීමේදී පස්වන ස්ථානයේ පසුවේ. බංග්ලාදේශයට දැනට හිමිව ඇත්තේ හත්වන ස්ථානයයි. බංග්ලාදේශයේ මීළග තරගය පැවැත්වෙන්නේ ලබන සදුදාය (17) තරග පුහුණුව නොලැබීමේ අවශ්‍යතාවයට බංග්ලාදේශය ද මුහුණ පා සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීළග තරග තුන සෙනසුරාදා ඕස්ට්‍රේලියාව සමගත් 21දා එංගලන්තය සමගත් 28 දා දකුණු අප්‍රිකාව සමගත් පැවැත්වීමට නියමිතය. ලන්ඩනය හා ප්‍රධාන නගරවල සිට තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ දක්වා දීර්ඝ ගමන්යෙදී ඇතිහෙයින් වර්ෂාව මත තරග නරඹන්නන්ගේ ඇදී ඒම මද වශයෙන් අඩුවක් දක්නට ඇත.

මේ අතර අවමංගල්‍ය උත්සවයකට සහභාගිවීමට ආපසු ශ්‍රී ලංකාවට පැමිණි වේග පන්දු යවන ලසිත් මාලිංග බ්‍රහස්පතින්දා (13) ඊට සහභාගි වී එදිනට රාත්‍රි ආපසු කණ්ඩායමට එක්වීමට පිටත්ව යාමට නියමිතව තිබිණි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-