දකුණු අප්‍රිකාව දෙවන එක්දින තරගය කඩුලු හතරකින් ජය ගනී

Thanathillen Eha_1

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ බදාදා (අගෝස්තු 1) පැවැති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන එක්දින දිවා – රාත්‍රි ක්‍රිකට් තරගයෙන් දකුණු අප්‍රිකාව කඩුලු හතරක ජයග්‍රහණයක් අත්කර ගත්තේය. ශ්‍රී ලංකාව ඕවර 50දී කඩුලු 8ට 244යි. දකුණු අප්‍රිකාව ඕවර 42.5 දී කඩුලු හයට 246යි. තරගයේ වීරයා දකුණු අප්‍රිකාවේ කුයින්ටන් ඩි කොක්.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා කුයින්ටන් ඩි කොක් ලකුණු 87ක්ද (පන්දු 78 හතරේ 13යි හයේ 1) සහ හසිම් අම්ලා ලකුණු 43ක් ද (පන්දු 43යි හතරේ හයයි) මුල් විකට්ටුවට ඕවර 14කදී ලකුණු 91ක් රැස්කරමින් ප්‍රබල ආරම්භයක් ලබා ගත්හ. පසුව නායක ෆෆ් ඩු ප්ලෙසිස් ලකුණු 49ක් (පන්දු 41යි හතරේ තුනයි හයේ 2යි) හා ජේ.පී.ඩුමනි ලකුණු 32ක් (පන්දු 29යි හතරේ 1යි හයේ 1යි) රැස් කළහ. ලංකා කණ්ඩායමේ කැපී පෙනුණු පන්දු යවන්නා වූ අකිල ධනංජය ඕවර දහයක් යවා ලකුණු දහයකට කඩුලු තුනක් දවාලූවේය.ශ්‍රී ලංකාව තව ලකුණු 30-40 ප්‍රමාණයක් ගත්තේ නම් තරගයේ තීරණය මීට වඩා වෙනස්වීමට ඉඩ තිබිණි.

Niroshan Dickwella against South Africa_DSC_7225

කණ්ඩායම් දෙක අතර පැවැත්වීමට නියමිත එක්දින තරග පහෙන් දකුණු අප්‍රිකාව දැනට තරග 2-0කින් ඉදිරියෙන් සිටී. තෙවන තරගය ඉරිදා (5) මහනුවර පල්ලේකැලේ දී පැවැත්වේ.

ඇන්ජලෝ මැතිව්ස් මේ තරගාවලියේ පිට පිටම දෙවන වතාවටත් කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් පන්දුවට පහරදීමටය. දකුණු අප්‍රිකාව ප්‍රථම තරගයට සහභාගිවූ කණ්ඩායමම මේ තරගයට නම් කළ අතර ශ්‍රී ලංකාව වෙනස්කම් දෙකක් සිදු කරමින් ලක්ෂාන් සඳකැන් වෙනුවට දඟපන්දු යවන ප්‍රභාත් ජයසූරියත් වේගපන්දු යවන ළහිරු කුමාර වෙනුවට කසුන් රාජිතත් එක් කළහ.

ආරම්භක පිතිකරුවන් දෙදෙනා උපුල් තරංග සහ නිරෝෂන් දික්වැල්ල ඕවර 1.5කදී ලකුණු 13ක් රැස්කළ අවස්ථාවේ වේගපන්දු යවන එන්ගිඩිගේ පන්දුවකට කඩුලු රකින ඩිකොක්ට උඩපන්දුවක්දී තරංග දැවී ගියේ ලකුණු නවයකටය. (පන්දු 8යි හතරේ 2යි) එන්ගිඩිගේ ඊළග පන්දුවට කුසල් මෙන්ඩිස් කඩුල්ල මුවා කිරීමේ වරදට දැවී ගියේ ලකුණක්වත් නොලබාය. ශ්‍රී ලංකාවේ තෙවන කඩුල්ල මුළු ලකුණු 56දී බිද වැටුණේ කුසල් ජනිත් පෙරේරා (ලකුණු 12යි පන්දු 24යි හතරේ 1යි) දගපන්දු යවන ෆෙලුක්වායෝගේ පන්දුවට දුන් අසීරු උඩපන්දු එන්ගිඩි දක්ෂ අයුරින් රැකගැනීමෙනි.

ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල ප්‍රථම ඕවරයේ සිට 26 වන ඕවරය තෙක් කඩුල්ලේ රැඳී පිටිය පුරා දර්ශණීය හතරේ පහර දහයක් එල්ල කරමින් ලකුණු 69ක් ලබාගත්තේ පන්දු 78කට පමණක් මුහුණ දීමෙනි. දික්වැල්ල සිව්වන කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 123දීය. (ඕවර 25.2) ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් මෙදින නැවත තම සුපුරුදු පිතිහරඹය පාමින් තම 36වන අර්ධ ශතකය ලැබූවේ පන්දු 71කදී හතරේ පහක් සමගය. මැතිව්ස් සිව්වන කඩුල්ලට දික්වැල්ල සමග ලකුණු 67ක්ද (ඕවර 13.3) පස්වන කඩුල්ලට ෂෙහාන් ජයසූරිය සමග ලකුණු 42ක්ද (ඕවර 8.4) එක් කළහ. ජයසූරිය මුළු ලකුණු 165දී පස්වන කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 18කටය.(පන්දු 27යි හතරේ1යි)

ශ්‍රී ලංකා හයවන කඩුල්ලට නායක මැතිව්ස් හා තිසර පෙරේරා (ලකුණු 19යි පන්දු 20යි හතරේ 2යි) ලකුණු 32ත් එක්කළ අවස්ථාවේ තිසර හයවන කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 197දීය.අකිල ධනංජය (ලකුණු 9යි හතරේ 1යි) ලකුණු 216 දී හත්වන කඩුල්ල ලෙස දැවී ගියේය. සුරංග ලක්මාල් මුළු ලකුණු 227දී ලකුණු හතකට දැවී ගියේ අටවන කඩුල්ල ලෙසිනි.

ඕවර 11.5දී අංක පහ පිතිකරු ලෙස පිටියට පිවිසි නායක ඇන්ජලෝ මැතිව්ස් ඕවර 50 අවසානයේ නොදැවී ලකුණු 79ක් (පන්දු 111යි හතරේ හයයි) ලබා ලංකා ලකුණු තත්ත්වය නැංවීමට මහඟු සේවයක් ඉටු කළේය. නොදැවී සිටි ප්‍රභාත් ජයසූරිය පන්දු 11කදී ලකුණු 11ක් ලැබුවේ හතරේ පහරක් සමගය

එන්ගිඩි ලකුණු 50කට කඩුලු තුනක්ද ෆෙලුක්වායෝ ලකුණු 45කට කඩුලු තුනක්ද දවාලූහ.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-