දෙබරවැව සිට ලෝඩ්ස් දක්වා ගිය ගමන

Thanathillen-Eha_3

දක්ෂිණ ලංකාවේ ඵෙතිහාසික තිස්සමහාරාමයට යාබදව දෙබරවැවදී උපත ලද ඔහු දෙබරවැව මහා විදුහලෙන් අධ්‍යාපනයත් ක්‍රිකට් ක්‍රීඩාවත් ඉගෙන ගත්තේය.

අඩි හයක් උසැති සුරංග ලක්මාල් නම්වූ මේ ක්‍රීඩකයා ක්‍රිකට් ක්‍රීඩාවෙන් පෙන්වන විශිෂ්ඨ දක්ෂතා නිරීක්ෂණය කරමින් ගාල්ලේ රිච්මන්ඩ් විදුහල ඔහුට ශිෂ්‍යත්වයක් පිරිනැමීය. පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔහුට කොළඹ ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ද උදාවිණි. ක්‍රිකට් ක්‍රීඩාවේ පියවරෙන් පියවර ඉදිරයට ගියත් ඔහු තම උපන් ගම් ප්‍රදේශය අමතක කළේ නැත. ක්‍රිකට් ආයතනය පිට පළාත්වලින් වේගපන්දු යවන්නන් සොයන අවධියක වේගපන්දු පුහුණුකරු චම්පක රණවකගේ විශේෂ අවධානය මේ ක්‍රීඩකයා වෙත යොමුවිණි.

තිස්සමහාරාමයේ ගොවි පවුලකින් පැවත එන සුරංග ලක්මාල් උපත ලැබුවේ 1987 මාර්තු 10 වැනිදාය. දකුණතින් වේගපන්දු යවන දකුණතින් පන්දුවට පහරදෙන අගපෙළ පිතිකරුවෙකි. මාතර ක්‍රීඩා සමාජය, ටැමිල් යූනියන් හා බස්නාහිර දකුණ යන කණ්ඩායම් නියෝජනය කරමින් අන්තර් සමාජ මට්ටමින් දස්කම් පෙන්වීමෙන් පසුව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමටත් ඉන්පසු එක්දින හා ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමටත් අවස්ථාව උදාවිණි.පසුව ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන සියළු රටවල සංචාරයන්හි නිරතවිය.

 තම උස ප්‍රයෝජනයට ගනිමින් වේග බවුන්සර් පන්දුව දෝලනය කර පිතිකරුවෙකුට තර්ජනාත්මක වන අයුරින් පන්දු යැවීම ඔහුගේ විශේෂත්වයයි. හොද පන්දුවක් යවා එය පිතිකරුගේ පිත්ත අභිබවා යන විට පිතිකරු දෙස  බලා නිරන්තරයෙන් සිනහවීමත් කඩුල්ලක් දවාලූවිට අත්දෙපසට විහිදුවා ගුවන් යානයක් මෙන් තණතිල්ල අවට දුවයාමත් ඔහු කෙරෙන් නිතර දක්නට ලැබේ. බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාව සමග ටෙස්ට් තරගවලදී ලංකා පිලට නායකත්වය දෙමින් තරගාවලි ජයග්‍රහණය කරවීය.

Suranga Lakmal

කොදෙව් දූපත්හි බාබඩෝස්,පෝර්ට්ඔෆ් ස්පෙන් ඉන්දියාවේ ධර්මශාලා ක්‍රීඩාංගණයන්හි මුල් කඩුලු කිහිපය දවාලමින් මොහු ලබාදුන් අඩිතලාම ලංකා ජයග්‍රහණයට මුල්විය. පසුව එය එංගලන්තයේ ලෝඩ්ස්,ඕවල් දකුණු අප්‍රිකාවේ වොන්ඩර්ස් නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් වෙතද විහිදිණි. වේගපන්දු යැවීමේදී ඔහු එකදිගට ඕවර පහක් හයක් විශිෂ්ට ලෙස යැව්වත් ඉන්පසු ශක්තිය රදවා ගැනීමට නොහැකිවීමේ අපහසුව මත පෙර මෙන් පන්දු නොයැවීම ඔහුගේ දුර්වලතාවයයි. විටමින් හා පෝෂ්‍ය ගුණාංග සපයමින් මෙය සැකසීමට පුහුණුකරුවන් හා ක්‍රිකට් ආයතනය බලවත් වෙහෙසක් ගනී.

චන්දික හතුරුසිංහ නව පුහුණුකරු ලෙස පත්ව ආ අවස්ථාවේ ක්‍රීඩකයන් තිදෙනෙකු පිළිබදව සුබ අනාවැකි පළ කළේය. ලක්මාල් ඉන් එක් අයෙකි. ලක්මාල් විවාහ වූයේ ඉරිදා දහම් පාසලේ හාදවූ ප්‍රියංභිකාව සමගිනි. මීට වසර එකහමාරකට පෙර දකුණු අප්‍රිකාව සමග මෙහිදී ලංකා පිලට ටෙස්ට් නායකත්වය දෙමින් ලංකා පිල ජයග්‍රහණය කර ලක්මාල් මෙහෙයවීය. ඉන් දින දෙකකට පසු ඔහුගේ නැන්දණිය (බිරිදගේ මව) මිය ගියාය. ලෝක කුසලාන තරගාවලියේ දී මුල් ඕවර පහහය විශිෂ්ට ලෙස යවා ලංකා පිලට හොද ආරම්භයක් ලබාදීමට සුරංග ලක්මාල් අවස්ථාව උදාවේවායි අපි පතමු.

ලක්මාල් ටෙස්ට් ඉනිම 101කදී කඩුලු 137ක් ලබා ඇත්තේ ඉනිමක කඩුලු පහ බැගින් තෙවතාවක් ලබා ගනිමිනි. ඉනිමක හොදම පන්දු යැවීම ලකුණු 54කට කඩුලු පහකි. එක්දින ඉනිම 79කදී කඩුලු 105ක් ලබා සිටින්නේ ඉනිමක හොදම පන්දු යැවීම ලෙස ලකුණු 13ට කඩුලු හතරක් දවාලමිනි.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-