දෙවැනි දිනයේදී දඹුල්ල සහ කොළඹ ජයගනී

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් බදාදා (22) පැවැති අන්තර් පළාත් 20-20 තරගාවලියේදී දඹුල්ල සහ කොළඹ කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භවූ මේ තරගාවලියේ මෙය දෙවන දිනයයි.

දඹුල්ල කණ්ඩායම ලකුණු 95කින් පහසුවෙන් ප්‍රබල ගාල්ල කණ්ඩායම පරාජය කළේය. කොළඹ හා මහනුවර අතර තරගයේ ඕවර 20 නිමවනවිට දෙපිලම ලකුණු 188 බැගින් ලබා සිටීමෙන් ජයග්‍රහකයන් තේරීමට සුපිරි ඕවරයක් ලබාදී එයද ලකුණු පහ බැගින් ලබා සමවීමෙන් එම ඕවරයේදී කඩුලු අඩු සංඛ්‍යාවක් දැවීගිය කණ්ඩායම වූ කොළඹට ජයග්‍රහණය අත්විය.

Dhananjaya de Silva (L)

  • දඹුල්ල ලකුණු 95කින් ගාල්ල පරාජය කරයි.

දඹුල්ල කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු හයකට ලබාගත් ලකුණු 179ට පිළිතුරු වශයෙන් ගාල්ල කණ්ඩායම ඕවර 17.5ක් අවසානයේ සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 84ක් පමණකි.

කාසියේ වාසිය දිනා දඹුල්ල මුලින් පන්දුවට පහර දීමට පැමිණි අවස්ථාවේ ධනුෂ්ක ගුණතිලක (13) රමිත් රඹුක්වැල්ල (00) මුළු ලකුණු 14 වන විට දැවීයාමෙන් පසුව ප්‍රථම දින ශතකයක් ලැබූ අෂාන් ප්‍රියංජන් නැවතවතාවක් දස්කම් දක්වමින් (57) සධීර සමරවික්‍රම (48) සමග තෙවන කඩුල්ලට ලකුණු 101ක් ලබා කණ්ඩායම ස්ථාවර තත්ත්වයකට පත්කළහ.

සධීර සමරවික්‍රම පන්දු 37කදී හතරේ හතක් සමග ලකුණු 48ක්ද අෂාන් ප්‍රියංජන් පන්දු 41කදී හයේ පහරක් හතරේ හයක් සමග ලකුණු 57ක්ද 19 හැවිරිදි හසිත බෝයගොඩ පන්දු 17කදී හයේ පහරක් හතරේ තුනක් සමග නොදැවී ලකුණු 29ක්ද , ඉසුරු උදාන පන්දු 11කදී හයේ පහරක් හතරේ හතරක් සමග ලකුණු 25ක්ද රැස් කළහ. ගාල්ල කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ එකම පිතිකරුවකුටවත් ලකුනු 20 ඉක්මවිය නොහැකිවිය.

  • දඹුල්ල ඕවර 20දී කඩුලු 6ට 179යි.

සධීර සමරවික්‍රම 48, අෂාන් ප්‍රියංජන් 57, හසිත බෝයගොඩ නොදැවී 29, ඉසුරු උදාන 25, ධනංජය ද සිල්වා 11ට 2යි, කසුන් රාජිත 47ට 2යි.

  • ගාල්ල ඕවර 17.5දී ලකුණු 84යි.

දිමුත් කරුණාරත්න 17,නිරෝෂන් දික්වැල්ල 13, ධනංජය ද සිල්වා 13, ප්‍රභාත් ජයසූරිය නොදැවී 13යි, ධනුෂ්ක ගුණතිලක 21ට 4යි, වනිදු හසරංග 11ට 3

තියුණු ගැටුමකින් පසු කොළඹ පිල මහනුවර පරාජය කරයි.

කොළඹ හා මහනුවර කණ්ඩායම් අතර ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ බදාදා (22) පැවැති 20-20 තරගයේ ඕවර සංඛ්‍යාව නිමවනවිට දෙපිලම ලකුණු 188 බැගින් ලබා සම තත්ත්වයේ පසුවිණි.

පසුව ජයග්‍රාහකයන් තේරීමට දෙපිලටම සුපිරි ඕවරය බැගින් ලබා දුන්නේය. මෙහිදී මහනුවර කණ්ඩායම මුලින් පන්දුවට පහරදුන් අතර සුපිරි ඕවරය යැවීමට කොළඹ පිල යෙදවූයේ අත්දැකීම් බහුල තුන්ඉරියව් ක්‍රීඩක ජීවන් මෙන්ඩිස්ය. මහනුවර පිල එම ඕවරයේදී ලබාගත්තේ පිතිකරුවන් දෙදෙනෙකු දැවී ලකුණු පහකි.

ලකුණු හයක පහසු ජයග්‍රහණ ඉලක්කයක් කරායාමට කොළඹ පිල පිටියට පිවිසෙද්දී මහනුවර පිල පන්දු යෙදවූයේ එක්දින ප්‍රබලම පන්දු යවන්නකු වන ලසිත් මාලිංගය. මාලිංගගේ එම ඕවරයේදී උපුල් තරංග කෙළින්ම පන්දුව කඩුල්ලේ වැදී දැවී ගිය අතර කඩුල්ලක් දැවී කොළඹ පිලද ලබාගත්තේ ලකුණු පහකි. සුපිරි ඕවර අවසානයේ දීද දෙපිලම ලකුණු පහ බැගින් ලබා සමවිය. 20-20 තරග නීති රීති අනුව සුපිරි ඕවරයේ ලකුණු සමවුවහොත් අඩුවෙන් කඩුලු දැවීගිය කණ්ඩායමට ජයග්‍රහණය පිරිනැමෙන හෙයින් එහිදී ජයග්‍රාහකයන් ලෙස තේරුණේ කොළඹ කණ්ඩායමයි.

මේ තරගය ආරම්භයේදී කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් කොළඹ කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 5කට ලබාගත් ලකුණු 188ට පිළිතුරු ලෙස මහනුවර පිල ඕවර 20දී කඩුලු හතක් දැවී ලකුණු 188ක් ලැබීය. කොළඹ පිල වෙනුවෙන් උපුල් තරංග ලකුණු 62ක්ද (පන්දු 47යි හතරේ හතයි හයේ 2යි) ෂෙහාන් ජයසූරිය ලකුණු 63ක්ද (පන්දු 36යි හතරේ අටයි හයේ දෙකයි) මහනුවර කණ්ඩායමේ ළහිරු තිරිමාන්න ලකුණු 50ක්ද (පන්දු 36යි හතරේ පහයි හයේ 2යි) දසුන් ශානක ලකුණු 30ක්ද (පන්දු 16යි හතරේ 2යි හයේ 2යි) ලබා ගත්හ.

  • කොළඹ ඕවර 20දී කඩුලු පහට 188යි.

උපුල් තරංග 62යි. ෂෙහාන් ජයසූරිය 63, චරිත් අසලංක 34ට 2, එල්.ගමගේ 43ට 2

  • මහනුවර ඕවර 20දී කඩුලු 7ට 188යි.

ළහිරු තිරිමාන්න 50, දසුන් ශානක 30, භානුක රාජපක්ෂ 28, ෂෙහාන් ජයසූරිය 22ට 3, ජීවන් මෙන්ඩිස් 13ට 2

බන්දුල මොල්ලිගොඩ

TeamMatch WonLostN/RPointsNRR
Colombo642-80.906
Dambulla642-80.645
Kandy624-40.048
Galle624-4-1.561