පරාජය වූ එක්දින තරගයේදී ෂෙහාන් 108යි

Thanathillen-Eha_3

ශ්‍රී ලංකා ‘ඒ’ සහ ඉන්දියා ‘ඒ’ අතර පැවැති ප්‍රථම එක්දින තරගයෙන් ඉන්දීය ‘ඒ’ කණ්ඩායම ලකුණු 48ක ජයග්‍රහණයක් වාර්තා කරද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය ලකුණු 108ක් ලබා අනගි ශතකයක් රැස් කළේය.

අයහපත් කාලගුණය මත මේ තරගය පැවැත්වූයේ දෙපිලටම ඕවර 42ක් ලැබෙන පරිදිය. මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය ‘ඒ’ කණ්ඩායම ඕවර 42 අවසානයේ කඩුලු 4කට රැස්කළ ලකුණු 317ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඕවර 42දී කඩුලු හයක් දැවී රැස්කළේ ලකුණු 269කි.

ඉන්දීය ඉනිමේදී රුටුරාජ් ගයික්වාඩ් නොදැවී ලකුණු 187ක් (පන්දු 136යි හතරේ 26යි හයේ 2යි) සහ අන්මෝල්ප්‍රිට් සිං (65) වැඩිම ලකුණු ගත්හ. මොවුන් දෙදෙනාගේ දෙවනකඩුල්ලේ සබදතාව ලකුණු 163කි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ෂෙහාන් ජයසූරිය පන්දු 120කදී හතරේ අටක් හයේ දෙකක් සමග ලකුණු 108ක්ද ආක්‍රමණශීලී පිතිකරු දසුන් ශානක පන්දු 31කදී හතරේ තුනක් හයේ දෙකක් සමග ලකුණු 44ක්ද ලබාගත්හ.ෂෙහාන් සහ දසුන් හයවන කඩුල්ලට ලකුණු 92ක් රැස් කළේ ඕවර 11.3කදීය. ශ්‍රී ලංකා කණ්ඩායමට ඉනිම ආරම්භයේ දී ජයග්‍රහණයට ඕවරයකට සාමාන්‍ය ලකුණු 7.5ක් අවශ්‍යවූ අතර එය අසීරු ඉලක්කයක් ලෙස දිස්විණි.

ලකුණු විස්තරය

  • ඉන්දීය කණ්ඩායම ඕවර 42දී කඩුලු 4ට 317යි.

රුටුරාජ් ගයික්වාඩ් නොදැවී 187යි, අන්මෝල්ප්‍රිට් සිං 65, ළහිරු තුමාර ලකුණු 62ට කඩුලු 3යි.

  • ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 42දී කඩුලු 6ට 269යි.

ෂෙහාන් ජයසූරිය 108යි, දසුන් ශානක 44, භානුක රාජපක්ෂ 29, අෂාන් ප්‍රියංජන් 29, අභිමාන් ජයරත්න නොදැවී 20, නිරෝෂන් දික්වැල්ල 19 මාකන්ඩෙ 66ට 2.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-