පාකිස්තානයට ලකුණු 317ක ඉලක්කයක්

Thanathillen Eha_1

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – පාකිස්තාන දෙවන පස්දින දිවා – රාත්‍රී ක්‍රිකට් තරගයේ සිව්වන දිනයේ දී (09) පාකිස්තානයට තරගය ජය ගැනීමට ලකුණු 317ක ඉලක්කයක් ශ්‍රි ලංකාව ලබාදුන් අතර එදින තරගය නතර කරන විට ඔවුන් කඩුලු පහකට ලකුණු 198ක් ලබා ජයග්‍රහණයට ලකුණු 119ක් අවශ්‍යව සිටියේය.

ශ්‍රී ලංකාව දෙවන ඉනිමේ දී ලකුණු 96කට දැවී යාමෙන් පසුව පාකිස්තානයට ජයග්‍රහණයට ලකුණු 317ක් අවශ්‍ය විය.  දගපන්දු යවන දිල්රුවන් පෙරේරා ළඟ ළඟම කඩුලු තුනක් දවාලීම මත පාකිස්තානයේ පළමු කඩුලු පහ දැවී ගියේ ලකුණු 52ක් තුළය.  ඒ වන විට ඔවුනගේ හොඳම පිතිකරුවන් පිරිස දැවීගොස් තිබිණි.  හයවන කඩුල්ලට පන්දුවට පහරදෙන අසාඩ් සෆ්රාස් (නොදැවී 86යි) සහ නායක සෆ්රාස් අහමඩ් (නොදැවී 57) හයවන කඩුල්ලට අඛණ්ඩ (නොදැවුණු)  ලකුණු 146ක් රැස්කර ගනිමින් පාකිස්තානයට මේ තරගය පිළිබඳව බලාපොරොත්තුවක් ඇති කරගත හැකි තත්ත්වයකට මෙය පත්කරගෙන තිබේ.

Rangana Herath

තරගයේ අවසාන දින (10) ආරම්භයේ දී ම ශ්‍රී ලංකා කණ්ඩායම නව පන්දුව ලබා මේ පිතිකරුවන් දවාගැනීම අනිවාර්යය වේ.  එසේ සිදු නොවුවහොත් සිදුවන්නේ මේ ටෙස්ට් තරග දෙකේ මෙතෙක් පැවැති දින නවයේම තම ආධිපත්‍ය රැකගෙන සිටී ශ්‍රී ලංකාවට දෙවන තරගයේ සිව්වන දින අවසාන පැය දෙකේ කාලපරිච්ඡේදයේ පාකිස්තාය නොදැවී රැස්කළ ලකුණු 136ක හයවන කඩුල්ලේ සබදතාව මත සම්පූර්ණ තරගාවලියෙන් අත්කර ගැනීමට ගෞරවයෙන් අඩක් පකිස්තානයට පිරිනැමීමට සිදුවීමය.

මේ ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දී පාකිස්තානය ලකුණු 317ක ඉලක්කයක් හඹායද්දී තේ විවේකය වන විට ඔවුන් කඩුල්ලකට ලකුණු 15ක් ද රාත්‍රී ආහාරය වන විට කඩුලු 5ක ට ලකුණු 62ක් ද පමණක් ලබා දැඩි අසීරුතාවයක පසු විය.  ශ්‍රී ලංකාව දෙවන ඉනිමේ දී ලකුණු රැස් කිරීමට දැක්වූ දුර්වලතාව පාකිස්තානයද කණ්ඩායමෙන් අඩක්ම දවී යනතුරු දැක්වුවත් (ලකුණු 52කට කඩුලු 5යි)

හයවන කඩුල්ලේ සබදතාවයෙන් ඔවුනට නව ජීවයක් ලැබිණි.  ලකුණු රැස් කිරීමට අසීරු වූ එම තණතිල්ලේම නායක අහමඩ් හා සාෆික් පහසුවෙන් ලකුණු රැස් කිරීම විමසිල්ලට ලක්විය යුතු කරුණකි.

මුල් ඉනිමේ දී ලකුණු 220ක් වැනි විශාල සංඛාවකින් ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකාවට දෙවන ඉනිමේ දී මුල් ඉනිමේ දී ලබාගත් ලකුණු සංඛාවෙන් අඩක් හෝ ලබාගැනීමට සමත්වූයේ නම් සිව්වන ඉනිමේ පාකිස්තානයට ජයග්‍රහණය ගැන සිතීම අපහසු කරුණක් වනු නියතය.  මොන තත්ත්වයක වුවද ලකුණු 92ක (දෙවන ඉනිමේ) සංඛ්‍යාව ප්‍රමාණවත් යැයි සිතිය නොහැකිය.

ශ්‍රී ලංකාව සිව්වන දිනයේ තරගය ආරම්භ කළේ දෙවන ඉනිමේ දී ලකුණු 34කට කඩුලු පහක් දැවී ගිය තත්ත්වයකය.  නිරෝෂන් දික්වැල්ල හයවන කඩුල්ලට කුසල් මෙන්ඩිස් සමග එක්ව ඉනිම ගොඩ ගැනීමට උත්සහ දැරූහ.  දික්වැල්ල තම සුපුරුදු ආක්‍රමණශීලි පිතිහරඹය ක්‍රියාත්මක කරමින් පන්දු 21ක දී හතරේ පහර හතරක් සමග ලකුණු 21ක් රැස්කර සිටිය දී රියාස්ගේ පන්දුවකට කඩුලු රකින නායක අහමඩ්ට උඩපන්දුවක් දී දැවී ගියේ මුළු ලකුණු 59දීය.  වෙනදා ලකුණු අතර සිටින දිල්ර්වන් පොරේරා ඔහු මුහුණු දුන් ෂාගේ ප්‍රථම පන්දුවටම දැවී ගියේ බලාපොරොත්තු අඩාල කරමිනි.

ලංකා අටවන කඩුල්ලට කුසල් මෙන්ඩිස් සහ රංගන හේරත් අගනා ලකුණු 35ක් රැස් කළ අවස්ථාවේ හේරත් විසින් සොහේල්ගේ පන්දුවකට අසාම්ට උඩ පන්දුවක් දී දැවී ගියේ පන්දු 17කදී හතරේ තුනක් සමග ලකුණු 17ක් ලබා සිටියදීය.  එහා කෙළවරේ සහය පිතිකරුවෙකු නොමැති වෙමින් සිටි අංක 4 පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 49ක දී හතරේ හතරක් සමග ලකුණු 29ක් ලැබීය.  වහාබ් රියාස් ලකුණු41ක ට කඩුලු 4ක්ද හැරිස් සොහේල් ලකුණකට කඩුලු තුනක්ද යසීර් ෂා ලකුණු 47කට කඩුලු 2ක් ද දවාලූහ.

පාකිස්තානය දෙවන ඉනිමේ පන්දුවට පහරදිමට පැමිණි අවස්ථාවේ මසුඩ් (21) අස්ලාම් (01) අසාර් අලි (17) හැරිස් සොහේල් (10) සහ බාබර් අසාම් (00) ප්‍රබල පිතිකරුවන් පස්දෙනා දැවී ගියේ මුළු ලකුණු 52කට මේ වන විට දිල්රුවන් පෙරේරා හොදින් පන්දු යවමින් කඩුලු තුනක් දවා ගැනීමට සමත් විය.

අසාඩ් සෆික් පන්දු 140ක දී හතරේ අටක් සමග නොදැවී 86ක් ද නායක සෆ්රාස් අහමඩ් පන්දු 113ක දී හතරේ හතරක් සමග නොදැවී 57ක් ද ලබා සිටියහ.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-