පාකිස්තාන සාජා එක්දින තරගයත් ජයගනී

බන්දුල මොල්ලිගොඩ සාජා සිට ලියයි….

සාජාහි පැවැති ශ්‍රී ලංකා – පාකිස්තාන සිව්වන එක්දින තරගයත් කඩුලු හතකින් ජයගත් පාකිස්තානය එක්දින තරගාවලිය 4 – 0ක් ලෙස ඉදිරියෙන් සිටියේය.  ශ්‍රී ලංකාව ඕවර 43.3ක දී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 173ට පිළිතුරු ලෙස පාකිස්තානය කඩුලු 3ක ට ලකුණු 177ක් ලබා මේ ජයග්‍රහණය ලැබීය.

මෙහි දී පාකිස්තාන සිව්වන කඩුල්ලට බාබර් අසාම් (නොදැවී 69යි) සහ ෂොයිබ් මලික් (නොදැවී 69යි) නොදැවී ලකුණු 119ක සබඳතාවයක් තබා ගත්හ.

DSC_0795

බාබර් අසාම් නොදැවී ලකුණු 69 පන්දු 101ක දී හතරේ පහක් සමග ද ෂොයිබ් මලික් නොදැවී ලකුණු 69 පන්දු 81ක දී හයේ තුනක් හා හතරේ දෙකක් සමග ද ලබාගත්හ.  තරගයේ වීරයා වූයේ බාබර් අසාම්ය.

මෙදින සිකුරාදා (20) නිවාඩු දිනයක් වූ හෙයින් අටදහසක දස දහසක පමණ ජනකායක් තරග නැරඹීමට පැමිණ සිටි අතර ඉන් අඩක් පමණ ශ්‍රී ලංකිකයෝය.

සාජා ක්‍රීඩාංගණය අතීතයේ දී ශ්‍රී ලාංකිකයන් ජය කෙහෙළි නැංවූ ක්‍රීඩාංගණයක් වූවත් මේ තරගයේ දී දක්ෂතා ඉස්මතු වූයේ නැත.  අසීරු උඩපන්දුවක් ගිළිහුනත් ශ්‍රී ලංකා පන්දු රැකීම යහපත් මට්ටමක පැවැතිණි.  ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අවසාන එක්දින තරගය පැවැත්වෙන්නේ සඳුදා (23) සාජා ක්‍රීඩාංගණයේ දී මය.

ශ්‍රී ලංකා නායක උපුල් තරංග කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කර ලබාගත් ලකුණු 173 (ඕවර 43.4) ඕවරයකට සාමාන්‍ය ලකුණු 3.96කි.  ශ්‍රී ලංකා පිතිකරුවන් තිදෙනෙකු උපුල් තරංග (00) සධිර සමරවික්‍රම (00) තිසර පෙරේරා (00) ලකුණු නොලබාම දැවීගිය අතර, තවත් දෙදෙනෙකු ලබා ගත්තේ (සීක්කුගේ ප්‍රසන්න 05යි, ළහිරු ගමගේ 01යි) ඉලක්කම් දෙකේ සීමාවට අඩුවෙනි.

පිතිකරුවන් දෙදෙනෙකු අතර ලකුණු පණහක සබඳතාවයන් තිබුනේම  නොමැත.  හොඳම සබඳතා වූයේ ළහිරු තිරිමාන්න හා දිනේෂ් චන්දිමාල් අතර තෙවන විකට්ටුවේ ලකුණු 29ත් තිරිමාන්න සහ මිලින්ද සිරිවර්ධන අතර පස්වන කඩුල්ලේ ලකුණු 32ක සබඳතාවත් තිරිමාන්න සහ අකිල ධනංජය අතර අටවන කඩුල්ලේ ලකුණු 43ක සබඳතාවත්ය.  මේවා ප්‍රමාණවත් දිගු සබඳතා නොවීය.

වෙනදා ලකුණු අතර සිටී උපුල් තරංග මුළු ලකුණු දෙකේ දී දැවී ගියේ ලකුණු නොලබාමය.  දික්වැල්ල ආක්‍රමණශීලි පිතිහරඹයක යෙදෙමින් පන්දු 16ක දී හයේ පහරක් හතරේ තුනක් සමග ලකුණු 22ක් ලබා දෙවන කඩුල්ල ලෙස දැවී ගියේ මුළු ලකුණු 30 දී ය.  දිනේෂ් චන්දිමාල් සහ ළහිරු තිරිමාන්න එම වේගයම අනුගමනය කර ලකුණු සංඛ්‍යාව 59 දක්වා ඉහළ නැංවූහ.  විශේෂයෙන්ම චන්දිමාල් ඉතා හොඳින් පන්දුවට පහරදෙමින් මෙදින දිගු ඉනිමක් කරායන ලකුණු පහළ කළේය.  මුළු ලකුණු 59 දී චන්දිමාල් පහරක් එල්ල කර ලකුණක් ලබා ගැනීමට තිබූ අවස්ථාවේ දුවයද්දී තිරිමාන්න නොසැළීසිටි හෙයින් චන්දිමාල් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීමට හසුව දැවී ගියේ ලකුණු 16කටය.  (පන්දු 24යි, හතරේ 2යි) සධීර සමරවික්‍රම මුහුණදුන් දෙවන පන්දුවට ලකුණුක්වත් නොලබා දැවී ගියේ සිව්වන පිතිකරු ලෙස මුළු ලකුණු 59ක දීය.  කඩුලු හතරක් දැවුනත් මේ වන විට ලංකා කණ්ඩායමේ සාමාන්‍ය දළ වේගය හයක් විය.

මිලින්ද සිරිවර්ධන මීට පෙර තරග දෙකේ දී මෙන් නොව ලකුණු අතරට ඒමට උත්සහ කරමින් සිටිය දී ලකුණු 91 දී පස්වන කඩුල්ල ලෙස දැවී ගියේ ලකුණු 13කටය.  (පන්දු 32යි).  සීක්කුගේ ප්‍රසන්න ලකුණු 99ක දී හයවන කඩුල්ල ලෙස සදාබ්ගේ පන්දුවකට ලකුණු 5ක ට දැවී යාමත් සමග පැමිණි තිසර පෙරේරා, සදාබ්ට මුහුණදුන් ප්‍රථම පන්දුවටම දැවීගොස් ශ්‍රී ලංකාව ලකුණු 99ක ට කඩුලු 7ක් ද දැඩි අසීරු තත්ත්වයකට පත්විණි.

තිරිමාන්න (ලකුණු62යි, පන්දු 94යි, හතරේ 4යි) සහ අකිල ධනංජය (ලකුණු 18යි, පන්දු 37යි, හතරේ 1යි) අටවන කඩුල්ලට අගනා ලකුණු 43ක් ද තිරිමාන්න සහ සුරංග ලක්මාල් (නොදැවී 23යි, පන්දු 30යි, හතරේ තුනයි) නවවන කඩුල්ලට ලකුණු 22ක් ද රැස් කිරීමෙන් ශ්‍රි ලංකාව ඉනිම අග දී ලකුණු 70ක් පමණම එක් කළහ.

ලකුණු පුවරුව

ශ්‍රී ලංකාව ලකුණු
නිරෝෂන් දික්වැල්ල ඇ. සමාන් බෝ ජුනයිඩ් 22
උපුල් තරංග බෝ. උස්මාන් ඛාන් 00
දිනේෂ් චන්දිමාල් දුවද්දී දැවී ගියා 16
ළහිරු තිරිමාන්න ඇ. බාබර් අසාම් බෝ ඉමාඩ් වසම් 62
සධීර සමරවික්‍රම බෝ ඉමාඩ් වසම් 00
මිලින්ද සිරිවර්ධන ඇ. උස්මාන් බෝ හසන් අලී 13
සීක්කුගේ ප්‍රසන්න බෝ සදාබ් ඛාන් 05
තිසර පෙරේරා ඇ. බාබර් අසාම් බෝ සදාබ් ඛාන් 00
අකිල ධනංජය ඇ. සෆ්රාස් අහමඩ් බෝ. හසන් අලි 18
සුරංග ලක්මාල් නොදැවී 23
ළහිරු ගමගේ බෝ හසන් අලි 01
අතිරේක 13
එකතුව (ඕවර 43.4) සියලු දෙනා දැවී 173
කඩුලු බිඳ වැටීම – 2, 30, 59, 59, 91, 99, 99,142, 164, 173
පන්දු යැවීම  – ජුනයිඩ් ඛාන් 4 – 0 – 22 – 1 උස්මාන් ඛාන් 6.3 – 0 – 38 – 1 ඉමාඩ් වසිම් 7 – 0 – 13 – 2 මොහමඩ් හෆීස් 9.3 – 1 – 29 -0 හසන් අලි  8.4 – 0 – 47 3 සදාබ් ඛාන් 8 – 0 – 29 – 2
පාකිස්තානය ලකුණු
ඉමාම් උල්හක් එල්. බී. බඩ්ලිව්. බෝ. ගමගේ 02
ෆකාර් සමාන් ස්ටම්ප් දික්වැල්ල බෝ.  ධනංජය 17
බාබර් අසාම් නොදැවී 69
මොහමඩ් හෆීස් ඇ. ගමගේ බෝ. ප්‍රසන්න 09
ෂොයිඩ් මලික් නොදැවී 69
අතිරේක 11
එකතුව ( කඩුලු 3ට ඕවර 39යි) 177
කඩුලු බිඳ වැටීම – 12, 37, 58
පන්දු යැවීම – සුරංග ලක්මාල් 7 – 0 – 25 – 0 ළහිරු ගමගේ 5 – 0 – 27 – 1  අකිල ධනිංය  8 – 1 – 29 -1 සීක්කුගේ ප්‍රසන්න 10 – 0 – 44 -1 තිසර පෙරේරා 4 – 0 – 16 -0 මිලින්ද සිරිවර්ධන 5 – 0 – 34 – 0

Mobil_PMS-TM-1

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-