පාකිස්තාන 19න් පහළ පිල පන්දුවක් ඉතිරිව තිබියදී ජයගනී

Thanathillen-Eha_3

          ශ්‍රී ලංකා – පාකිස්තාන අවුරුදු 19න් පහළ එක්දින සීමිත ඕවර ක්‍රිකට් තරගාවලියේ අඟහරුවාදා (28) පැවැති දෙවන එක්දින තරගයේදී පන්දුවක් ඉතිරිව තිබියදී පාකිස්තානය කඩුලු තුනක ජයක් අත්කර ගත්තේය. කණ්ඩායම් දෙකම දැන් තරගය බැගින් (1-1) ජයගෙන සමව සිටී.

දෙවන එක්දින තරගයේදී මුලින් පන්දුවට පහරදී ඕවර 50 අවසානයේ ශ්‍රී ලංකාව කඩුලු 8කට ලබාගත් ලකුණු 220ට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායම ඕවර 49.5කදී කඩුලු හතකට ලකුණු 221ක් ලබා ගනිමින් තරගය ජය ලැබීය.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ලකුණු 250ක් වැනි ප්‍රමාණවත් සංඛ්‍යාවකට යාමට අවස්ථාව නොලැබුණේ ඉදිරිපෙළ පිතිකරුවන් හයදෙනාම අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යාමෙනි. ලංකා කණ්ඩායම ඕවර 17.3ක් අවසානයේ මුළු ලකුණු 69ක් වන විට ප්‍රබලම පිතිකරුවන් හයදෙනෙකුම දැවී කණ්ඩායමම අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී යන ආකාරයක් පෙන්නුම් කළේය. හත්වන කඩුල්ලට අවිශ්ක තරිඳු සහ චමිඳු විජේසිංහ ඕවර 15කදී ලකුණු 74ක් රැස් කරමින් එම තත්ත්වය මදක් වෙනස් කළහ.

Pakistan Under 19_DSC_3267

ශ්‍රී ලංකාව ඕවර 40ක් වනවිට ලකුණු 153කට කඩුලු අටක් දැවී නැවත අවදානම් තත්ත්වකට පත්විණි. නවවන කඩුල්ලට රොහාන් සංජය සහ අෂේන් ඩැනියල් අවසාන ඕවර දහයේදී නොදැවී ලකුණු 67ක් ලබා ගනිමින් තරගයක් දියහැකි තත්ත්වයකට කණ්ඩායම ගෙන ආහ.අවිශ්ක තරිඳු ලකුණු 54ක්ද (පන්දු 78යි හතරේ පහයි) චමිඳු විජේසිංහ ලකුණු 28ක්ද (පන්දු 54යි) රොහාන් සංජය නොදැවී 45ක්ද (පන්දු 59යි හතරේ හතරයි) අෂේන් ඩැනියල් නොදැවී ලකුණු 20ක්ද (පන්දු 25යි) ලැබූහ. අක්තාර් ෂා ලකුණු 32කට කඩුලු දෙකක් දවාලූවේය.

පාකිස්තාන කණ්ඩායමේ හේඩර් අලි ලකුණු 56ක්ද (පන්දු 60යි හතරේ හයයි) නායක රොහේල් නසීර් ලකුණු 87ක්ද (පන්දු 98යි හතරේ හතයි) වැඩිම ලකුණු රැස් කළහ. දිල්ෂාන් මධුශංඛ සහ දිලුම් තිලකරත්න කඩුලු දෙක බැගින් දවාලූහ.

ලකුණු විස්තරය

  • ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම ඕවර 50දී කඩුලු 8ට 220යි.

අවිශ්ක තරිඳු 54, චමිඳු විජේසිංහ 28, රොහාන් සංජය නොදැවී 45යි, අෂේන් ඩැනියල් නොදැවී 20යි, අක්තාර් ෂා 32ට 2යි.

  • පාකිස්තාන 19න් පහළ කණ්ඩායම ඕවර 49.5දී කඩුලු 7ට 221යි.

රොහේල් නසීර් 87යි, හේඩර් අලි 56යි, දිල්ෂාන් මධුශංඛ 27ට 2යි, දිලුම් තිලකරත්න 35ට 2යි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-