පාකිස්ථාන කාන්තා පිලට ශ්‍රී ලංකාව පැරදුණත් ලංකා පිල තවමත් දෙවන ස්ථානයේය

Thanathillen Eha_1

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය

මැලේසියාවේ පැවැත්වෙන ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ බදාදා (06) පැවැති ශ්‍රී ලංකා පාකිස්ථාන තරඟයෙන් පාකිස්ථානය ලකුණු 23ක ජයක් ලැබීය.පාකිස්ථානය ඕවර 20 අවසානයේ කඩුලු 04කට ලබා ගත් ලකුණු 136කට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 අවාසනයේ කඩුලු නවයක් දැවී ලබා ගත්තේ ලකුණු 113කි.

ශ්‍රී ලංකාව මේ තරඟයෙන් පරාජයට පත්වුවත් තරඟ සටහන අනුව ඔවුන් තවමත් පසුවන්නේ ඉන්දියාවට පිටුපසින් දෙවැනි ස්ථානයේය. ලංකා කණ්ඩායමේ මීළග තරග දෙක බ්‍රහස්පතින්දා (7) ඉන්දියාව සමගත් සෙනසුරාදා (9) තායිලන්තය සමගත් පැවැත්වේ.

බදාදා (6) පැවැති ශ්‍රී ලංකා – පාකිස්ථාන තරඟයේ දී ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට පාකිස්ථානයට පැවරීය. නහිඩා ඛාන් ලකුණු 38ක්ද (පන්දු 34යි) සහ බිස්මා මාරූෆ් ලකුණු 60ක්ද (පන්දු 41යි) රැස් කිරීම මත පාකිස්ථානයට ඕවර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 136ක් (ඕවරයකට සාමාන්‍ය 6.8කි) ලබා ගැනීමට අවස්ථාව ලැබීණි. දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුගන්ධිකා කුමාරි ඕවර හතරක් යවා ලකුණු 18කට කඩුලු 2ක් දවාලූවාය.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 9කට ලබා ගත්තේ ලකුණු 113කි.(ඕවරයකට සාමාන්‍ය 5.65කි) මෙහිදී ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා යශෝධා මෙන්ඩිස් සහ නිපුනි හංසිකා මුල් විකට්ටුව ඕවර අටකදී ලකුණු 48ක් රැස්කළත් පසුව කඩුලු නවයක් දැවී ගියේ තව ලකුණු 65ක් එක්වද්දීය.

යශෝධා මෙන්ඩිස් ලකුණු 25ක්ද (පන්දු 29යි හතරේ 5යි) නිපුනි හංසිකා ලකුණු 24ක්ද (පන්දු 22යි හතරේ 2යි) නායිකා ශෂිකලා සිරිවර්ධන ලකුණු 13ක්ද (පන්දු 10යි හතරේ 2යි) ලංකා කණ්ඩායම වෙනුවෙන් ලබාගත්හ. නිඩා ඩාර් ලකුණු 21කට කඩුලු පහක් දවාලූවාය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-