පූර්ණ පරීක්ෂණයක් පවත්වා සත්‍ය හෙළිකරනවා – ක්‍රිකට් ආයතනටයේ නිසි බලධාරී පවසයි

Thanathillen Eha_1

ලබන මස ශ්‍රී ලංකාවට පැමිණෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ රූපවාහිනි විකාශන අයිතීන් වෙනුවෙන් ක්‍රිකට් ආයතනයට අදාළ සමාගම මගින් ගෙවිමට නියමිත මුදල් ගනුදෙනුව විධිමත් ක්‍රියාදාමයක් අනුගමනය නොකර ලබාගැනීමට උත්සහ කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමා ඇතුළු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් වහා ක්‍රියාත්මක වීමෙන් පැය කිහිපයක් ඇතුළත එය වළකා ගැනීමට අවස්ථාව උදාවූයේ යැයි ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරී ක්‍රීඩා සහ පළාත් සභා අමාත්‍යාංශයේ ලේකම් කමල් පත්මසිරි මහතා සදහන් කරයි.

මෙම සිද්ධිය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතා ඒ මහතා එම අදහස් පළකළේය. මෙම මාධ්‍ය හමුවට ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා, ප්‍රධාන මෙහෙයුම් කළමණාකරු ජෙරම් ජයරත්න සහ තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානී නදීෂාන් සූරියආරච්චිගේ යන මහත්වරු ද සහභාගිවූහ.

Competent Authority Kamal Padmasiri, CEO Ashley de Silva, COO Jerome Jayaratne and IT Manager Nadeeshan Suriyarachchi_254A5581

එහිදී වැඩිපුර අදහස් දැක්වූ කමල් පත්මසිරි මහතා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරි ලෙස පසුගිය ජුලි මස තමා පත්වූ දින සිට වසරේ නියමිත වැඩසටහන අනුව දකුණු අප්‍රිකා සංචාරය, අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලි, 20-20 තරගාවලිය හා එංගලන්ත සංචාරයට අවශ්‍ය කටයුතු සැලසුම් කළ බව කීවේය.

එංගලන්ත සංචාරයේ රූපවාහිනි විකාශන අයිතියට ලැබිය යුතු මුදල් සම්බන්ධයෙන් සිදුවූයේ යැයි කියන අක්‍රමිතාව පිළිබදව මූලික පරීක්ෂණ පවත්වා අදාළ නිලධාරී අනිවාර්ය්‍ය නිවාඩු යවා තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් පොලීසියත් මේ පිළිබදව විධිමත් පරීක්ෂණයක් ද පවත්වනවා. ඊට අමතරව ක්‍රිකට් ආයතනයත් පරීක්ෂණ පවත්වනවා. ස්වාධීන විගණයක්ද සිදුවෙමින් පවතිනවා. සිද්ධිය පිළිබදව වැරැදිකරුවන් කවුරුන්දැයි තවම නිශ්චිත වශයෙන් සොයාගෙන නෑ. සිද්ධිය ආරංචි වූ විගස වහා ක්‍රියාත්මකවීමෙන් එය වළකාගත්තා යැයි  ඒ මහතා කීය.

අපට ආරක්ෂා කිරීමට හෝ සැගවීමට කිසිවක් නොමැත. සිද්ධිය පිළිබදව පූර්ණ පරීක්ෂණයක් පවත්වා සත්‍ය මහජනතාවට ළගදීම ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තුවන බවද කමල් පත්මසිරි මහතා සදහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා අදහස් දක්වමින් මේ සිද්ධිය සම්බන්ධයෙන් වසන් කිරීමට කිසිවක් නොමැති බවත් දැනට සිදුකෙරෙන පරීක්ෂණවල තොරතුරු ඉදිරියේ අනාවරණය කරන බවත් පැවසීය. සිද්ධියට සම්බන්ධ යැයි සැකකරන නිලධාරිවරයා නියමිත බඳවාගැනීමේ පරිපාටිය අනුව වසරකට පෙර බඳවාගත් බවද ප්‍රධාන විධායකවරයා කීවේය.

ක්‍රීඩා අමාත්‍යතුමා අපට උපදෙස් දී තිබෙනවා පිළිගත් විගණන ආයතනයක් මගින් සියලු මූල්‍ය කටයුතු මුල සිටම සොයා බලනලෙසට. අද එය සිදුවෙනවා. සමහරුන් මේ අවස්ථාවේ ආයතනයට චෝදනා එල්ල කිරීමට උත්සහ ගන්නා බව පෙනීමට ඇතත්, ආයතනයේ ප්‍රතිරූපය විනාශ කිරීමට කිසිවෙකුට ඉඩදිය නොහැකියැයි ද ප්‍රධාන විධායක නිලධාරි පැවසීය.

මෙම මුදල් ලැබීමට නියමිතව තිබුණේ මුලින් සියයට 50ක්ද තරගාවලිය පැවැත්වෙන අතරතුර සියයට 25ක්ද  තරගාවලිය නිමවීමෙන් පසු ඉතිරි සියයට 25ද ලැබෙන පරිදිය. ඒ පිළිබදව විද්‍යුත් තැපැල් මගින් පණිඩුඩ හුවමාරුවෙද්දී ප්‍රථම පණිවුඩය නිවැරදිව ලැබුණත් ඊළග පණිඩුඩ එවීමේදී විද්‍යුත් තැපැල් ලිපිනයන් අග වෙනස් කිරීමකට ලක්ව තිබූ අතර තමාට පිටපත් කළායැයි සදහන් වූ පිටපත් නියමිත පරිදි නොලැබුණු බවද ඈෂ්ලි ද සිල්වා මහතා කීවේය.

බන්දුල මොල්ලිගොඩ