බංග්ලාදේශය, ශ්‍රී ලංකාව පරාජය කරයි

Thanathillen Eha_1

නිදහස් කුසලාන තුන්කොන් තරගාවලියේ සෙනසුරාදා (10) පැවැති ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරගයෙන් බංග්ලාදේශය කඩුලු පහක ජයක් අත්කර ගත්තේය.  ශ්‍රී ලංකාව ඕවර 20 අවසානයේ කඩුලු 06ක ට ලබාගත් ලකුණු 214ට පිළිතුරු ලෙස ඕවර 19.4ක දී කඩුලු පහකට ලකුණු 215ක් ලබා බංග්ලාදේශය මෙම ජයග්‍රහණය ලැබීය.

ශ්‍රී ලංකාව ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් ලැබුවත්, පන්දු යැවීම දුර්වල තත්ත්වයක පැවැතිණි.  බංග්ලාද්ශය ලකුණු 215ක ජයග්‍රහණ ඉලක්කය කරා යාමට පිටියට පැමිණි අවස්ථාවේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා, ටමීම් ඉක්බාල් සහ ලිටන් දාස් කණ්ඩායමට හොඳ ආරම්භයක් ලබාගත්තේ ඕවර පහකදී ලකුණු 65ක් ලබාගනිමිනි.  ඕවර 9.2ක දී ඔවුන් ලකුණු 100 ලැබුවේ වේගවත් පිති හරඹයක නියැළෙමිනි.

ටමීම් ඉක්බාල් පන්දු 29ක දී හයේ පහරක්, හතරේ 06ක් සමඟ ලකුණු 47ක් ද, ලිටන් දාස් පන්දු 19ක දී හයේ 05ක් හා හතරේ 02ක් සමඟ ලකුණු 43ක් ද, නායක මොහමඩ් මහ්මදුල්ලා පන්දු 11ක දී ලකුණු 20ක් ද, මුෂ්ෆිකර් රහිම් පන්දු 35ක දී හයේ 04ක් හතරේ 05ක් සමඟ නොදැවී ලකුණු 72ක් ද ලබා තම කණ්ඩායමේ ජයග්‍රහණයට දායක වූහ.  මුෂ්ෆිකර් තරගයේ වීරයා ලෙස ද තේරිණි.

DSC_0278

බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සමඟ වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹාගොස් ජය ලැබූ තරගය මෙය වේ.  එමෙන්ම, මෙය ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ද වාර්තාවකි.

බංග්ලාදේශ කණ්ඩායම කාසියේ වාසිය දිනා තීරණය කළේ මුලින් ම පන්දුවට පහරදීම ශ්‍රී ලංකා පිලට පැවරීමට ය.  බංග්ලාදේශ පන්දු යවන්නන් දැඩි ප්‍රහාරයකට ලක් කළ ආරම්භක පිතිකරුවන් දෙදෙනා, ධනුෂ්ක ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 50 වාර්තා කළේ පන්දු 23ක දී ය.

ධනුෂ්ක හා කුසල් ප්‍රථම ඕවරයෙන් ලකුණු 13ක් ද, දෙවන ඕවරයෙන් ලකුණු 11ක් ද, සිව්වන ඕවරයෙන් ලකුණු 21ක් ද ලබා ලකුණු 59 වාර්තා කළේ ඕවර 3.5ක දී ය.  මුල් විකට්ටුවට මොවුන් දෙදෙනා එක්කළ ලකුණු ප්‍රමාණය 56 (ඕවර 4.3)කි.  ගුණතිලක ලකුණු 26ක ට දැවී ගියේ පන්දු 19ක ට මුහුණ දී, හයේ පහරක් හා හතරේ 03ක් සමඟිනි.

දෙවන කඩුල්ලට කුසල් මෙන්ඩිස් හා කුසල් ජනිත් පෙරේරා වේගයෙන් ලකුණු එක් කළේ පන්දු 53ක දී ලකුණු 85ක් රැස් කරමිනි.  කුසල් මෙන්ඩිස් පන්දු 26ක දී හයේ 04ක් හා හතරේ 02ක් සමඟ ද, කුසල් ජනිත් පන්දු 34ක දී හයේ පහරක් හා හතරේ 06ක් සමඟ ද තම අර්ධ ශතක ලබාගත්හ.  මුළු ලකුණු 141 දී කුසල් මෙන්ඩිස් ලකුණු 57ක ට දැවී ගියේ (ඕවර 13.2) පන්දු 30ක ට පමණක් මුහුණ දී හතරේ 02ක් හා හයේ 05ක් සමඟ ය.  මහමුදුල්ලා යැවූ එම ඕවරයේ ම පස්වන පන්දුවට දසුන් ශානක ලකුණු නොලබා ම දැවී ගියේ ය.  දිනේෂ් චන්දිමාල් ද ලබාගත්තේ ලකුණු 02ක් පමණි.

කුසල් ජනිත් පෙරේරා සහ උපුල් තරංග ශ්‍රී ලංකා පස්වන කඩුල්ලට ඕවර 4.2ක දී ලකුණු 55ක් රැස් කරමින් ශ්‍රී ලංකා ඉනිමේ අග භාගය වේගවත් කරමින් ලකුණු දෙසියයේ සීමාව ද ඉක්මවීය. කුසල් ජනිත් පෙරේරා, පස්වන ඕවරයේ සිව්වන පන්දුවේදී පිටියට පිවිසී අවසාන (20 වැනි) ඕවරයේ දෙවන පන්දුව තෙක් කඩුල්ලේ රැඳී, ලකුණු 74ක් රැස් කළේ පන්දු 48ක ට මුහුණ දී හයේ දෙකක් සහ හතරේ 20ක් සමඟ ය.

ශ්‍රී ලංකා ඉනිම නිම වනවිට උපුල් තරංග නොදැවී ලකුණු 32ක් ලබා සිටියේ පන්දු 15ක ට මුහුණ දී හයේ පහරක් හා හතරේ 04ක් සමඟ ය.  බංග්ලාදේශ නායක, මොහොමඩ් මහමුදුල්ලා ඕවර දෙකක් යවා ලකුණු 15ක ට කඩුලු දෙකක් ද, මිස්ෆුසුර් රහ්මන් ලකුණු 48ක ට කඩුලු 03ක් දවාලූහ.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-