බංග්ලාදේශ ‘ඒ’ තියුණු තරගයකින් ශ්‍රී ලංකා ‘ඒ’ පරදයි

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ‘ඒ’ – බංග්ලාදේශ ‘ඒ’ කණ්ඩායම් අතර බංග්ලාදේශයේදී අඟරුවාදා (17) පැවැති ප්‍රථම එක්දින තරගයේ දී තියුණු තරගයකින් බංග්ලාදේශය ලකුණු දෙකකින් ජය ගත්තේය.

බංග්ලාදේශය ඕවර 50 අවසානයේ කඩුලු හතකට ලබාගත් ලකුණු 280ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව පණස් වන ඕවරයේ අවසාන පන්දුවේදී සියලු ක්‍රීඩකයන් දැවී ලබා ගත්තේ ලකුණු 278කි. ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ජයග්‍රහණයට අවසාන පන්දුවේ දී ලකුණු තුනක් අවශ්‍ය වූ අතර ෂෙහාන් මධුශංඛ, කාලඩ් අහ්මඩ්ගේ පන්දුවකට මොහොමඩ් මිතුන් අතට උඩ පන්දුවක් දීමෙන් දැවී ගියේය.

මේ තරගයේදී ශ්‍රී ලංකා ‘ඒ’ නායක තිසර පෙරේරා කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට බංග්ලාදේශයට පැවරීය. බංග්ලාදේශය ඕවර 30ක් අවසානයේ කඩුලු තුනකට ලකුණු 120ක් පමණක් ලබා සිටියත්ඉතිරි ඕවර 20දී ඔවුන් කඩුලු හයක් දැවී තවත් ලකුණු 160ක් රැස් කිරීම මත ඔවුනට විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව උදාවිණි.මිසානුර් රහ්මන් ලකුණු 67ක්ද ෆාසි මහමුද් ලකුණු 59ක්ද රැස් කළහ.

ශ්‍රී ලංකා ‘ඒ’ පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ සධීර සමරවික්‍රම(03) සහ උපුල් තරංග (10) මුළු ලකුණු 13වන විට දැවීයාමෙන් ලකුණු රැස් කිරීමේ වේගය අඩාල විය. පසුව දසුන් ශානක ලකුණු 78ක්ද (පන්දු 78යි හයේ හයයි හතරේ 2යි) සහ අෂාන් ප්‍රියංජන් ලකුණු 42යි (පන්දු 59යි හතරේ 4යි) සහ අගපෙළ ෂම්මු අෂාන් ලකුණු 29යි (පන්දු 28යි හයේ 2යි හතරේ 1යි) තිසර පෙරේරා ලකුණු 22යි (පන්දු 20යි හතරේ 2යි හයේ1යි) හා ෂෙහාන් මධුශංඛ ලකුණු 21යි (පන්දු 12යි හයේ 3යි) වේගයෙන් ලකුණු එක් කළහ. අවසාන කඩුල්ලට මධුශංඛ සහ නිෂාන් පීරිස් (11) පන්දු 21කදී ලකුණු 34ක් ලැබූහ.

බංග්ලාදේශ ඕවර 50දී කඩුලු 7ට 280

මිසානුර් රහ්මන්  67 ෆාසි මහමුද් 59 දසුන් ශානක 24ට 1යි

ශ්‍රී ලංකා ඕවර 50දී 278යි

දසුන් ශානක 78 අෂාන් ප්‍රියංජන් 42

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-