මගේ ඉනිමක සාමාන්‍ය ලකුණු වැඩි කර ගැනීම අපේක්ෂාවයි – නිරෝෂන් දික්වැල්ල

Thanathillen Eha_1

ගාල්ලේ දී ලබන 12 වැනිදා ඇරඹෙන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී අපේක්ෂාව වන්නේ දැනට ටෙස්ට් ඉනිමක ලකුණු 33ක සාමාන්‍යයක් ලබා සිටින තම පිතිකරණයේ දී එය ලකුණු 35 දක්වා ඉහළ නංවා ගැනීම බව කණ්ඩායමේ කඩුලු රකින්නා හා ප්‍රබල පිතිකරුවකු වන නිරෝෂන් දික්වැල්ල ප්‍රකාශ කරයි.

ජුනි මස 23වැනිදා කොදෙව් පිල සමග තෙවන ටෙස්ට් තරගයේ ප්‍රථම දිනයේ දී විසිපස් වන වියට පා තැබූ දික්වැල්ල දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය පිළිබදව අදහස් දක්වන්නේ ඉමහත් බලාපොරොත්තු සහගතවයි.

බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී  අප අසාර්ථක වූයේ ප්‍රථම ටෙස්ට් තරගයේදී පමණයි. දෙවැනි ටෙස්ට් තරගයේ අප ජයග්‍රහණය කරා යන අවස්ථවේ වර්ෂාවෙන් බාධා ඇතිවී තරගය ජය පැරදුමින් තොරව නිමවූවා. තෙවන ටෙස්ට් තරගය කඩුලු හතරකින් ජය ගත් අප තරගාවලිය 1-1 ලෙස සම කළත් මුළු තරගාවලියේම වැඩි ගෞරවයක් අත්කරගත්තේ අපයි. අප දකුණු අප්‍රිකානුවන්ට මුහුණ දීමට යන්නේ එම ජයග්‍රාහී මානිසිකත්වයෙන් යුතුවයි.

කොදෙව්වන් සමග ක්‍රීඩා කළ ආකාරයට සමාන ක්‍රීඩා සැලැස්මක් දකුණු අප්‍රිකානුවන්ට මුහුණ දීමේදී අප සතුව තිබෙනවා. කොදෙව් දූපත්හි වේගපන්දු යවන්නන්ට මුහුණ දීමේදී අප අනුගමනය කළ පිළිවෙත තව දියුණු කර දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට අප මුහුණ දෙනවා. දකුණු අප්‍රිකාව ඕනෑම තණතිල්ලක දස්කම් දැක්විය හැකි ප්‍රබල කණ්ඩායමක්. ඒ වුණත් ඔවුනට හොදින් මුහුණ දිය හැකි සැලැසුම් අප සතුයි.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීමේ වාසියත් අවසාන ටෙස්ට් තරගය ජයගෙන සිටීමේ වාසියත් අප වෙත තිබෙනවා. අපගේ ඒකායන අපේක්ෂාව මේ සියල්ල එක්කොට මේ තරගාවලිය ජය ගැනීම යැයි නිරෝෂන් දික්වැල්ල පවසයි.

බන්දුල මොල්ලිගොඩ