මහනුවර දඹුල්ල පරදා ප්‍රථම ජය ලබයි

Thanathillen Eha_1

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ සදුදා (අප්‍රේල් 8) පැවැති සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයේදී මහනුවර කණ්ඩායම කඩුලු 7කින් දඹුල්ල පරාජය කර පහසු ජයක් ලබා මේ තරගාවලියේ තම ප්‍රථම ජය වාර්තා කළේය.

දඹුල්ල ඕවර 44.5දී සියලු පිතිකරුවන් දැවී ලබාගත් ලකුණු 198ට පිළිතුරු ලෙස මහනුවර කණ්ඩායම ඕවර 31.3කදී කඩුලු 3කට ලකුණු 199ක් ලබා මේ ජයග්‍රහණය ලැබුවේ තවත් ඕවර 18.3ක් ඉතිරි තිබියදීය.

ලකුණු 199ක් පහසු ඉලක්කයක් කරායද්දී මහනුවර නායක දිමුත් කරුණාරත්න නැවත නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 76කදී හතරේ නවයක් සමග ලකුණු 86ක් ලබමින් තම කණ්ඩායමේ ජයග්‍රහණය ස්ථීර කළේය. දිමුත්ගේ පිතිහරඹයෙන් ඔහු තමාවම එංගලන්ත සංචාරයට ස්ථීර කරගත් බවක්ද දක්නට ලැබිණි. දිමුත්ට අමතරව තරුණ ක්‍රීඩක පැතුම් නිශ්ශංක පන්දු 47කදී හතරේ හතරක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 51ක් ලැබීය. සංගීත් කුරේ පන්දු 46කදී හතරේ හතරක් සමග 33ක් ලබා ගැනීමට සමත්විය.

AD Mathews and SMA Priyanjan (R)

දෙවන කඩුල්ලට දිමුත් හා සංගීත් ලකුණු 72ක්ද තෙවන කඩුල්ලට දිමුත් හා පැතුම් ලකුණු 56ක්ද සිව්වන කඩුල්ලට පැතුම් හා සචිත්‍ර සේනානායක නොදැවී ලකුණු 36ක්ද එක්කළහ.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම ඕවර 44.5කදී සියලු පිතිකරුවන් දැවී ලබාගත් ලකුණු 198 ඕවරයකට සාමාන්‍ය ලකුණු 4.41ක් වූ අතර එය එක්දින තරගයකට කොහෙත්ම ප්‍රමාණවත් නොවීය.

දඹුල්ල නායක ඇන්ජලෝ මැතිව්ස් නැවත වතාවක් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින් පන්දු 67කදී ලකුණු 47ක් රැස්කළේ හතරේ තුනක්ද සමගින්.ඊට අමතරව ඕෂද ප්‍රනාන්දු ලකුණු 44ක්ද (පන්දු 52යි හතරේ 7යි) භානුක රාජපක්ෂ ලකුණු 27ක්ද (පන්දු 32යි හතරේ තුනයි) අෂාන් ප්‍රියංජන් ලකුණු 24ක්ද (පන්දු 29යි හයේ එකයි) වැඩිම ලකුණු ලාභීන් බවට පත්විය. ඕෂද ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ තෙවන කඩුල්ලට ලකුණු 71ක්ද , නායක මැතිව්ස් හා අෂාන් ප්‍රියංජන් පස්වන කඩුල්ලට ලකුණු 40ක්ද එක්කළහ. දක්ෂ පන්දු යැවීමක නිරත වූ තිසර පෙරේරා ඕවර 7ක් යවා ලකුණු 25කට කඩුලු හතරක් බිඳ දැමීය.

  • ලකුණු විස්තරය දඹුල්ල ඕවර 44.5කදී සියල්ල දැවී 198යි.

ඇන්ජලෝ මැතිව්ස් 47, ඕෂද ප්‍රනාන්දු 44, භානුක රාජපක්ෂ 27, අෂාන් ප්‍රියංජන් 24, තිසර පෙරේරා 25ට 4, ජෙෆ්රි වැන්ඩසේ 40 ට 2

  • මහනුවර ඕවර 31.3දී කඩුලු 3ට 199

දිමුත් කරුණාරත්න 86, පැතුම් නිශ්ශංක නොදැවී 51, සංගීත් කුරේ 33,සචිත්‍ර සේනානායක නොදැවී13, ඉෂාන් ජයරත්න 38ට 1

බන්දුල මොල්ලිගොඩ

air max 90 essential sale