මහනුවර ප්‍රථම ජයග්‍රහණය ලබයි, දඹුල්ල ගාල්ලට පරදී

Thanathillen Eha_1

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති 20-20 ක්‍රිකට් ලීගයේ තවත් තරග දෙකකදී මහනුවර සහ ගාල්ල කණ්ඩායම් ජයග්‍රහණ අත්කර ගත්හ.

මහනුවර කණ්ඩායම මේ තරගාලියේදී ප්‍රථම වතාවට මෙදින (29) ජයග්‍රහණයක් අත්කර ගත්තේ දැනටමත් අවසාන තරගයට තේරී සිටින ප්‍රබල කොළඹ කණ්ඩායම කඩුලු හතකින් පරාජය කරමිනි.කොළඹ ඕවර 20දී කඩුලු 7කට ලබාගත් ලකුණු 165ට පිළිතුරු ලෙස මහනුවර ඕවර 17.3කදී කඩුලු තුනකට ලකුණු 168ක් ලබා මේ ජයග්‍රහණය ලැබීය.

දඹුල්ල සහ ගාල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර දුන් ගාල්ල ඕවර 20අවසානයේ කඩුලු අටකට ලකුණු 163ක් ලබාගත් අතර දඹුල්ල ඕවර 20දී කඩුලු නවයක් දැවී ලබාගත්තේ ලකුණු 125කි. මේ තරගාවලියේ දැනට දඹුල්ල ජයග්‍රහණය තුනට ලකුණු හයක්ද ගාල්ල ජයග්‍රහණ දෙකට ලකුණු හතරක්ද ලබා සිටින හෙයින් මේ කණ්ඩායම් දෙකෙන් අවසාන තරගයට තේරෙන කණ්ඩායම තෝරාගනුයේ බ්‍රහස්පතින්දා (30) පැවැත්වෙන තරග දෙකෙහි ප්‍රතිඵල මතය.

  • මහනුවර පිල දිවා – රාත්‍රි තරගයේදී කඩුලු හතකින් කොළඹ පරාජයට පත්කරයි.

කොළඹ ලැබූ ලකුණු 165 ඉලක්කය හඹායද්දී මහනුවර පිල නියෝජනය කරන ශ්‍රී ලංකා 20-20 ක්‍රීඩකයන් දෙදෙනෙකු වන කුසල් ජනිත් පෙරේරා (84) දසුන් ශානක (නොදැවී 60යි) තෙවන කඩුල්ලට පන්දු 58කින් ලකුණු 118ක් රැස්කරමින් තම කණ්ඩායම පහසු ජයග්‍රහණයක් කරා ගෙන ගියහ. දසුන් ශානක පන්දු 29කදී හයේ පහක් හතරේ තුනක් සමග නොදැවී 60ක්ද කුසල් ජනිත් පෙරේරා පන්දු 45කදී හයේ හයක් හා හතරේ හයක්ද සමග ලකුණු 84ක්ද රැස් කළහ.

  • කොළම ඕවර 20දී කඩුලු 7ට 165යි.

අවිශ්ක ප්‍රනාන්දු 54, ප්‍රියමාල් පෙරේරා 30, මහේල උඩවත්ත 22, මිලින්ද පුෂ්පකුමාර 25ට 2 මහනුවර ඕවර 17.3දී කඩුලු 3ට 168යි.

කුසල් පෙරේරා 84, දසුන් ශානක නොදැවී 60 ෂෙහාන් ජයසූරිය 27ට 2

  • ගාල්ල ලකුණු 38කින් දඹුල්ල පරාජය කරයි.

ගාල්ල කණඩායමේ කුසල් මෙන්ඩිස් ලකුණු 58ක්ද දඹුල්ල කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක ලකුණු 73ක්ද ලබා ලකුණු අතරට පිවිසි අතර ගාල්ල කණ්ඩායමේ කසුන් රාජිත ලකුණු 28කට කඩුලු 4ක් දවා විශිෂ්ට පන්දු යැවීමක නිරතවිය.

  • ගාල්ල ඕවර 20දී කඩුලු 8ට 163යි.

කුසල් මෙන්ඩිස් 58 ඒ.පෙරේරා 34

  • දඹුල්ල ඕවර 20දි කඩුලු 9ට 125යි.

ධනුෂ්ක ගුණතිලක 73 කසුන් රාජිත 28ට 4යි

බන්දුල මොල්ලිගොඩ