ලෝක කුසලානයට යන ක්‍රිකට් කණ්ඩායමට කෙන්ට් රෝ – මාස් අනුග්‍රහය

Thanathillen Eha_1

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල අනුග්‍රාහකයන් ලෙස ඉන්දියාවේ කෙන්ට් රෝ සහ මෙරට මාස් සමාගම් පත්ව සිටී.  ඉන්දියාවේ පානීය ජලය බෝතල් කර බෙදාහරින ප්‍රධානම සමාගම වන “කෙන්ට් ආර්.ඕ. මිනරල්” සමාගම ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙසත් ශ්‍රී ලංකාවේ ප්‍රධානම ඇඟළුම් සමාගමක් වන මාස් හෝල්ඩින් සමාගම ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ඇඟළුම් අනුග්‍රාහකයා ලෙසත් ක්‍රියාකරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග මේ සඳහා නිල ගිවිසුමට එළැඹීම් සිකුරාදා (3) සවස කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී සිදුකැරිණි.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් එහි ලේකම් මොහාන් ද සිල්වා කෙන්ට් ආර්. ඕ. සමාගමේ අධ්‍යක්ෂ වරුන් ගුප්තා, මාස් හෝල්ඩින් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශිරේන්ද්‍ර ලෝරන්ස්, අධ්‍යක්ෂ ෂාරික සේනානායක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න මේ අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා මෙහිදී අදහස් දක්වමින් ලෝක කුසලාන තරගාවලියට යන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ආශිර්වාද කිරීමට මහා පරිමාණයෙන් උත්සවයක් සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් සුබ පැතීමේ අවස්ථා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සැලසුම් කළ බවත් පසුගිය දිනවල රටේ ඇතිවූ කළබලකාරී තත්ත්වයන් මත මේ උත්සව සීමා කිරීමට සිදුව ඇති බවත් කීවේය.  විවිධ බාධාවක් ඇති අවස්ථාවක කණ්ඩායමට අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් වීම පිළිබඳව කෙන්ට් හා මාස් ආයතනයන්ට තම ස්තූතිය පළකරන බවකී මොහාන් ද සිල්වා මහතා, දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව අපට දැඩි විශාල විශ්වාසයක් ඇති බවත් එහිදී දස්කම් දැක්වීමට පූර්ණ ආශිර්වාදය පළකරන බවත් කීවේය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න අදහස් දක්වමින් “ක්‍රීඩකයන් විදිහට නොව ශ්‍රී ලාංකිකයන් ලෙස අප කවුරුත් තැති ගැන්මකට හා අඩපණවීමකට ලක්වූවා.  එහෙත් දැන් අප යළි පුහුණුවීම් අරඹා සුපුරුදු තත්ත්වයට පත්ව සිටිනවා.  එංගලන්තයට ගොස් එහි දේශගුණික හා තණතිලිවලට ඉක්මනින්ම හුරුවී දස්කම් පෑමට අපේක්ෂා කරන බව දිමුත් පැවසීය.”

මාස් හෝල්ඩින් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ශිරේන්ද්‍ර ලෝරන්ස් මහතා කතා කරමින් තම ආයතනය ඉවතලන ප්ලාස්ටික් භාවිතා කර නව තාක්ෂණය යොදවා නිපදවූ නවතම ඇඟළුම්වලට ජගත් ක්‍රිකට් සමුළුවේ අනුමැතිය පවා හිමිව ඇතැයි කිවේය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-