ලෝක කුසලානයට යන ලංකා පිල නම් කිරිම ඉක්මනින්

Thanathillen Eha_1

එංගලන්තයේ දී ලබන මස අවසානයේ සිට ජූලි දක්වා පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මේ මස (අප්‍රේල්) 18 වැනිදා ප්‍රකාශයට පත්කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් ප්‍රකාශ කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව මේ තරගාවලියට සහභාගි වන රටවලට කණ්ඩායම් නම් කිරීමේ කාලය වරක් දීර්ඝ කළ අතර දැන් ඒ සඳහා දී ඇති අවසාන දිනය අප්‍රේල් 23 වැනිදාය. අපගේ අසල්වැසි ඉන්දියාවද දැනටමත් කණ්ඩායම තෝරා ඇතැයි ප්‍රතාශයට පත් කළ අතර ඔවුන් සිය කණ්ඩායම ප්‍රකාශයට පත්කිරීම අප්‍රේල් 15 වැනිදා මුම්බායිහි දී සිදුකැරේ.

ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමේ භාරදූර්යය කාර්යය ඉටු කිරීමට ක්‍රිකට් තේරීම් කමිටුව මේ දිනවල ක්‍රියාකර ගෙන යති. පසුගිය දිනවල දඹුල්ලේ හා මහනුවර දී පැවැති සුපිරි අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක දක්ෂතා මෙහිදී බොහෝදුරට සැළකිල්ලට භාජනය කිරීමට තේරීම් කමිටුව අපේක්ෂා කරයි.

මේ අතර ආබාධ මත අන්තර් පළාත් තරගාවලියට සහභාගි නොවූ දක්ෂතම එක්දින ක්‍රීඩකයෙකු වන කුසල් ජනිත් පෙරේරා නොබෝදා සම්මුඛ සාකච්ඡාවකට සහභාගිවෙමින් පාදයේ මස් පිඞු ඉරීමකින් ඇතිවූ ආබාධය දැන් සුව අතට හැරී ඇතිහෙයින් කණ්ඩායම තෝරන නිලධාරීන් තමා පිළිබඳ යෝග්‍යතා පරීක්ෂණයකට සහ පුහුණුවීම් වලට නිරත කිරීමට සූදානම් වන්නේ නම් තමා ඊට සූදානම් බව ප්‍රකාශ කර තිබේ. කුසල් ජනිත් දැඩි ආක්‍රමණශීලි පිතිකරුවකු වන අතර ඔහු කළක් එක්දින කණ්ඩායමේ ආරම්භක පිතිකරු අංක තුන පිතිකරුගේ ස්ථානයන්හි නිත්‍ය ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කළේය. 28 හැවිරිදි කුසල් ජනිත් දැනට එක්දින තරග 88කට සහභාගිවී ලකුණු 2283ක් ලබා සිටින්නේ ලකුණු 29.29ක සාමාන්‍යයක් සහිතවය. ඒ අතර ශතක හතරක් හා අර්ධ ශතක එකොළහක් ද වේ.

ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කිරීමේ දී දඹුල්ලේ හා මහනුවරදී වැඩිම ලකුණු ලැබූ පිතිකරුවන් පස්දෙනා පිළිවෙලින් ඇන්ජලෝ මැතිව්ස්, ළහිරු තිරිමාන්න, භානුක රාජපක්ෂ, සංගීත් කුරේ හා දිමුත් කරුණාරත්න කෙරෙහි වැඩි අවධානයක් යොමුවනු ඇත. මෙහිදී භානුක රාජපක්ෂ හැර සෙසු පිතිකරුවන් සාමාන්‍ය ලකුණු ඉනිමක 53ක් මත සිටී. තුන්ඉරියව් ක්‍රීඩකයන් අතුරින් ඉදිරියෙන්ම සිටින්නේ ධනංජය ද සිල්වාය. මිනෝද් භානුක පිතිකරුවකු මෙන්ම කඩුලු රකින්නෙකු ලෙස ද මහඟු සේවයක් ඉටුකරයි. තිසර පෙරේරා, ඉසුරු උදාන හා වනිඳු හසරංග තුන්ඉරියව් ක්‍රීඩකයන් ලෙසත් ජීවන් මෙන්ඩිස් හා අකිල ධනංජය දඟ පන්දු යවන්නන් ලෙසත් ලසිත් මාලිංග, සුරංග ලක්මාල් හා දුෂ්මන්ත චමීර වේගපන්දු යවන්නන් ලෙසත් කැපී පෙනුණි.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-