ලෝක කුසලාන තරගාවලියට තරග 48ක්

Thanathillen-Eha_2

එංගලන්තයේදී මැයි 30 සිට ජූලි 14 දක්වා පැවැත්වෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට තරග 48ක් ඇතුළත්ය. තරගාවලියට සහභාගිවන කණ්ඩායම් දහය සෙසු සෑම රටක් සමගම තරග නවයකට බැගින් සහභාගිවීමට නියමිතය.

මූලික වටයේ දී පැවැත්වෙන තරග සංඛ්‍යාව 45කි.ලීග් ක්‍රමයට පැවැත්වෙන මූලික වටයෙන් ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් හතර අවසාන පූර්ව තරග දෙකකට සහභාගි වන අතර එහි ජයග්‍රාහකයන් අවසාන තරගයට සුදුසුකම් ලබති. ප්‍රථම තරගය මැයි 30වැනිදා සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන්නේ ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ දීය.

මූලික වටයේ තරග 45 මැයි 30 සිට ජූලි හය දක්වා ද, ජූලි 9 වැනිදා සහ 11 වැනිදා අවසාන පූර්ව තරග දෙකද පැවැත්වීමට සියළු කටයුතු සූදානම්ය. අවසාන මහා තරගය ජූලි 14 වැනිදා පැවැත්වෙනුයේ ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේය. මැයි 30 එංගලන්ත – දකුණු අප්‍රිකා ආරම්භක තරගයට පෙර චාම් සමාරම්භක උත්සවයක් පැවැත්වීමට නියමිතය.

මූලිකවටයේ තරග 45 අතුරින් මුලින්ම පැවැත්වෙන තරග 11 වන්නේ මැයි 30වැනිදා එංගලන්ත – දකුණු අප්‍රිකා (ඕවල් පිටිය ලන්ඩනය) මැයි 31- බටහිර ඉන්දීය කොදෙව් හා පාකිස්තාන තරගය ට්‍රෙන්ට් බ්‍රිජ්, ජුනි 1- ශ්‍රී ලංකාව හා නවසීලන්ත තරගය කාඩිෆ්හි දී , ජුනි 1 වැනිදා  ඕස්ට්‍රේලියා හා ඇෆ්ගනිස්තාන තරගය, ජුනි 2 දකුණු අප්‍රිකා – බංග්ලාදේශ තරගය, ජුනි 3- එංගලන්තය – පාකිස්තාන තරගය, ජුනි 4 ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තාන තරගය, ජුනි 5 දකුණු අප්‍රිකා – ඉන්දියා තරගය, ජුනි 5 බංග්ලාදේශ – නවසීලන්ත තරගය, ජුනි 6 බටහිර ඉන්දීය කොදෙව් – ඕස්ට්‍රේලියා තරගය, ජුනි 07 ශ්‍රී ලංකා – පාකිස්තාන තරගයත් (බ්‍රිස්ටල්) පැවැත්වීමට නියමිතය.

තම ප්‍රථම තරගයට දින විසි තුනකට පෙර වැඩිදුර පුහුණුව ලැබීමට එංගලන්තයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එඩින්බර්ග්හි දී ස්කෝට්ලන්තය සමග මැයි 18 සහ මැයි 21 දිනවල පුහුණු තරග දෙකකට සහභාගිවීමට නියමිතය.මැයි 24 දකුණු අප්‍රිකාව සමගත් මැයි 27 ඕස්ට්‍රේලියාව සමගත් ලංකා කණ්ඩායම තවත් පුහුණු තරග දෙකකට සහභාගි වනු ඇත. ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 15 සමග අතිරේක ක්‍රීඩකයන් සිව්දෙනාද එංගලන්තය බලා පිටත්ව ගිය අතර ඔවුන්ද මේ දිනවල සෙසු ක්‍රීඩකයන් සමග පුහුණුව ලබති.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-