ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දෙවැනි වන්නේ ආගමට පමණයි – ක්‍රීඩා ඇමති

Thanathillen Eha_1

ශ්‍රී ලංකා වාසීන්ට ක්‍රිකට් ක්‍රීඩාව දෙවැනි වන්නේ තම ආගමට පමණයි. ඒ තරමටම ශ්‍රී ලාංකිකයන් ක්‍රිකට් ක්‍රීඩාවට කැමතියි.  ආදරෙයි.  රටවැසියා බලාපොරොත්තු වන්නේ ක්‍රිකට් ජයග්‍රහණයි.  මොන ක්‍රීඩාව දියුණු උනත් කොයි ක්‍රීඩාව ජයග්‍රහණ ලැබුවත් ජනතාවට ඒවා ගැන තැකීමක් නැහැ.  ඔවුනට අවශ්‍යවන්නේ ක්‍රිකට් ජයග්‍රහණය යැයි ක්‍රීඩා අමාත්‍ය දායසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

මහජනතාව මෙතරම් ආදරයක් දක්වන මේ ක්‍රීඩාවෙන් අප ජයග්‍රහණයක් ලැබූ අවස්ථාවල මාධ්‍ය ඒවා එතරම් අගය කර සලකන්නේ නැහැ.  අප ඕස්ට්‍රේලියාව සමග දකුණු අප්‍රිකාව සමග තරගයක් දෙකක් නොව තරගාවලියන් ද ජයග්‍රහණය කර තිබෙනවා.  මෑතක දී ඉන්දියාවත් ප්‍රබල ලෙස එක්දින තරගයකින් පරාජය කළා.  ඒත් ඒවා ගැන අපේ මාධ්‍ය එතරම් උදම් අනන්නේ නෑ.  හැබැයි තරගයක් පැරදුනොත් “හපොයි අපේ ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම විනාශයි කියනවා.”  මේ තත්ත්වය වෙනස් කරගෙන අප යථාර්ථය මුහුණ දිය යුතු යැයි ද ක්‍රීඩා ඇමතිවරයා කීවේය.

Sri Lanka's newly-appointed cricket head coach Chandika Hathurusingha (L) and Cricket President Thilanga Sumathipala speak during a press conference in Colombo on December 20, 2017. / AFP PHOTO / ISHARA S. KODIKARA

Sri Lanka’s newly-appointed cricket head coach Chandika Hathurusingha (L) and Cricket President Thilanga Sumathipala speak during a press conference in Colombo on December 20, 2017. / AFP PHOTO / ISHARA S. KODIKARA

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ අදහස් පලකළේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත් කිරිම පිළිබඳව එස්. එස්. සී. ක්‍රීඩාගාරයේ පැවැති මාධ්‍ය හමුවත් අමතමිනි.  මේ අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා ඇතුළු ක්‍රිකට් ආයතනයේ ප්‍රධානීන් රැසක්ම සහභාගි වූහ.  මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ක්‍රීඩා අමාත්‍යවරයා “මහජනතාව ඉල්ලන ක්‍රිකට් ජයග්‍රහණ ලබාදීමට අද ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු ක්‍රිකට් පාලක මණ්ඩලය ඉතා වැදගත් පියවරක් ගෙන තිබෙනවා.  ඒ අද ලොව සිටින දක්ෂතම ක්‍රිකට් පුහුණුකරුවකුවන චන්දික හතුරුසිංහ මහතාගේ සේවය ලංකා කණ්ඩායමට ලබාදීමයි.  හතුරුසිංහ ශ්‍රී ලංකාවෙන් බිහිවූ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වගේම වර්තමානගේ ලොව පිළිගත් ප්‍රවීණ පුහුණුකරුවෙක්.  ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයටත් සම්බන්ධ වී සිටියා.  අතීතයේ දී ඔහුට යම් ප්‍රශ්න නැගුණත් අද ඔහුට අවස්ථාව ලැබී තිබෙනවා තම මව්රටට කීර්තියක් ආඩම්බරයක් අත්කරදීමට.  ඔහුට ඒ කාර්යය ඉටුකිරීමට සම්පූර්ණ නිදහසත් පහසුකම් ද ලැබී තිබෙනවා.  ඊට සහය හා ආශීර්වාදය පිරිනමන බවද ඇමතිවරයා කීය.  ක්‍රිකට් තරගයක ජයග්‍රහණ ක්‍රීඩක දක්ෂතා මත රදා පැවතුනත් අද තරගයක් පැරැදුණු විට තමාටත් පාලක මණ්ඩලයටත් සභාපතිතුමාටත් බැණ වැදීමට පිරිසක් ක්‍රියා කරන බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා අදහස් දක්වමින් පසුගිය ජූනි මාසයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නිත්‍ය පුහුණුකරුවකු නොසිටි බවත් දක්ෂ හා අපට ගැලපෙන පුහුණුකරුවකු සොයා මාස කිහිපයක් දීර්ඝ අධ්‍යනයක හා සාකච්ඡාවලින් පසුව මේ කාර්යයට සුදුසුම පුද්ගලයා අපේම කෙනෙකුවන චන්දික හතුරුසිංහට එය පැවරීමට තීරණය කළ බවත් ප්‍රකාශ කළේය.  එදා මෙදාතුර සිටි ග්‍රෙහැම් ෆෝඩ් හා වැඩබලන පුහුණුකරු නික් පෝතාස්ටද ක්‍රිකට් සභාපතිවරයා තම ස්තූතිය පල කළේය.

මෙහිදී වැඩිදුරටත් කතාකළ සුමතිපාල මහතා, “චන්දික හතුරුසිංහ මහතාගේ සේවය අපට ලබාගැනීමට ඔහු සේවය කළ බංග්ලාදේශය ක්‍රිකට් ආයතනය සමග අප පැවැති මිත්‍ර සබඳතාත් රාජතාන්ත්‍රික සබඳතාත් උපකාරී වූවා.  නූතන ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව අද පවතින්නේ ඉතා දියුණු තත්ත්වයකයි.  නවීන තාක්ෂණය විද්‍යාව හා උපක්‍රම ආදියෙන් ක්‍රිකට් ක්‍රීඩාව දියුණුම තත්ත්වයකට පත්ව තිබෙනවා.  මේ කරුණු සලකා අප ලොව සිටින දක්ෂම පුහුණුකරුවන් තිදෙනෙකු පිලිබඳව සාකච්ඡා කළා.  චන්දික හතුරුසිංහ ඉන් එක් අයෙක්.  ඔහුට ඒ සුදුසුකම් තිබීමත් විශේෂයෙන්ම ශ්‍රී ලංකිකයෙකුවීමත් පිළිබඳව අපගේ වැඩි අවධානය යොමු    වූවා.”

චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති පිළිගත් පුහුණුකරුවෙකු ලෙසත් පරිපාලකයෙකු ලෙසත් ක්‍රියාකර තිබෙනවා.  ප්‍රධාන පුහුණුකරුට භාරදූර කාර්යයන් රැසක්ම පැවරෙනවා.  ඔහු පුහුණුකරුවන් හැමගේ ප්‍රධානියා.  පිතිකරණයේ පුහුණුකරු දග පන්දු පුහුණුකරු වේගපන්දු පුහුණුකරු පන්දු රැකීමේ පුහුණුකරු ඉන් කිහිප දෙනෙකි.  තේරීම් කමිටුව හා මනා සබඳතාවයකුත් අවශ්‍යයි.  මේ සියලුදෙනා හා සංවර්ධන සැලැස්මක් සකසා අප ජයග්‍රහණ ඉලක්කය කරා යායුතුයි.  වැඩබලපු පුහුණුකරු නික් පෝතාස් මහතාට පසුගිය දිනවල පැවරී තිබුණේ ඉතා අසීරු කාර්යයක්.  අප මෑතක දී තරග වැදුණු ඉන්දීය පිල ලොව අංක එකේ කණ්ඩායමයි.  පෝතාස් මහතාට අප කෘතඥතාව පලකරනවා.

දැන් අපගේ අරමුණ සියලුදෙනා එකතුව ක්‍රිකට් ක්‍රීඩාව දියුණුකිරීමයි.  ක්‍රීඩා අමාත්‍යතුමාත් සම්පූර්ණ සහයෝගය අපට ලබාදෙනවා.  පුහුණුකරු තේරීම් කමිටුවට අයත් වන්නේ නෑ.  නීතිමගින් එය වෙනස්කර ක්‍රියාකළ යුතු ආකාරය ක්‍රීඩා ඇමතිතුමා අපට උපදෙස් දී තිබෙනවා.  හිටපු ක්‍රිකට් ක්‍රීඩකවන් කළමණාකරුවන් පරිපාලකයන් සියලුදෙනා සමග සාකච්ඡා කර ඉදිරි සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කෙරෙනවා.  ක්‍රිකට් ආයතනයේ දැන් ඉදිව තිබෙන නවීන තාක්ෂණ ක්‍රමවේද උපයෝගී කරගෙන සියලුදෙනාගේ සහයෝගයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඉහළම තලයට ගෙනයාම ප්‍රධානම අරමුණ වන්නේ යැයි ද තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් නව ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා කතාකරමින් තමා ඉදිරිපත් කල ක්‍රිකට් සැලසුම් අතීතයේ දී සාර්ථක වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණ මාවතට යොමු කිරීමේ අභියෝගය තමාට ජයගත හැකි බවත්, ප්‍රකාශ කළේය.  මට මේ කාර්යය පැවරී ඇත්තේ නියම කාල සීමාවේදීය.  මා කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව ක්‍රීඩා ඇමතිතුමාටත් ක්‍රිකට් සභාපතිතුමා ඇතුළු එම ආයතනයටත් කෘතඥවනවා.  මගේ මව් බිමට සේවය කිරීමට ලැබීම ඉතාමත් සතුටක්.  නියම සැලැස්මකට ඉදිරියට යාම මගේ අපේක්ෂාවයි.  මාස තුනක් පමණ යනවිට අදියර දෙකක් පමණ ඉදිරියට යා හැකි යැයි මා විශ්වාස කරනවා.  බංග්ලාදේශයේ දක්ෂතා මා දන්නා අන්දමටම මා හිතන ආකාරයත් ඔවුන් දන්නවා.  අතීතයේ දී නිව් සවුත් වේල්ස්, මූවර්ස් ශ්‍රී ලංකා කණ්ඩායම් දියුණු කළ ආකාරයට වත්මන් ජාතික පිල ද දියුණු කිරීම තම අභිප්‍රාය බව ද හතුරුසිංහ පැවසීය.

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-