ශ්‍රී ලංකාව ජය මාවතට යද්දී දෝනි – බුවනේෂ්වර් ඉන්දියාව බේරා ගනිති

Thanathillen Eha_1

පල්ලේකැලේ පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා දෙවන එක්දින තරගය ඉන්දියාව කඩුලු තුනකින් ජය ලැබුවද ශ්‍රී ලංකාවට මෑතකදී අවශ්‍යවම තිබූ තරගයක් ජය ගැනීමට ආසන්නයටම පැමිණීම හෝ ප්‍රතිවාදීනට අවසානය තෙක් තියුණු සටනක් ලබාදීම මේ තරගයේදී දක්නට ලැබිණි.   මෙය පන්නරයක් වී ඉදිරි එක්දින තරගවලදී ක්‍රීඩා කළහොත් එය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සුබවාදී වනු නිසැකය.

ශ්‍රී ලංකාව ඕවර 50 දී කඩුලු 8කට ලැබූ ලකුණු 236ක් (පසුව ඩක්-වර්ත් ක්‍රමයට ලකුණු 231) පහසු ඉලක්කයක් ලෙස ඉන්දියාව හඹායද්දී කඩුලු නොදැවී ලකුණු109 සිට ලකුණු 22ක් පමණක් එක්වද්දී පිතිකරුවන් හත් දෙනෙකුම දැවී ගියේ ශ්‍රී ලංකාව තරගයෙන් ජය ලබන තත්ත්වයකට යොමු වෙමිනි.  අතීතයේ කිහිපවරක්ම ඉන්දියාව මෙවැනි අසරණ තත්ත්වයකට මුහුණපා සිටියදී ඉන් බේරාගත් මහේන්ද්‍ර සිං දෝනි (නොදැවී 45යි) අටවන කඩුල්ලට වේගපන්දු යවන්නකු වන බුවනේෂ්වර් කුමාර් (නොදැවී 53) සමග එක්ව ලකුණු සියයක සබදතාවයකින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේ ශ්‍රී ලංකාව බලාපොරොත්තු නොවූ අයුරින් ජයග්‍රහණයක් කරා යන අවස්ථාව වළකාළමිනි.

_D4W5660x

ශ්‍රී ලංකාව ප්‍රබල ලෙස මේ තරගයට අවතීර්ණ කිරීමට ක්‍රියාකළ දඟ පන්දු යවන අකිල ධනංජය දැවී ගිය ඉන්දීය කඩුලු හතෙන් හයක්ම දවාලුවේ ලකුණු 54ක්  දීමෙනි.  ඊට පෙරදින මොරටුවේදී විවාහ වූ අකිල ධනංජය මධුසමය ගෙවීම කල්දමා එදිනම සවස මහනුවරදී කණ්ඩායමට එක්වූයේ පසුදින ශ්‍රී ලංකාව නියෝජය කිරීමටය.  ඉන්දීය ප්‍රබලම පිතිකරුවන් හයදෙනෙකු දවා තරගයේ වීරයා වූ සම්මානය තරම් තිළිණයක් අකිල සමග විවාහ වූ 24 හැවිරිදි නෙතාලි ටෙක්ෂිණි මනාලියට කෙතරම් අගේද? එය සදා මතකයේ රැදෙන්නකි.

ශ්‍රී ලංකාවට තරගයෙන් ජය ලැබීමට වාසනාවද යම් හෙයකින් බලපෑ බවක්ද දක්නට ලැබිණි.  වරක් ඉන්දියාව ජයග්‍රහණයට ලකුණු පනහක් අඩුව සිටිය දී දෝනිගේ පිත්තේ වැදුණු විශ්ව ප්‍රනාන්දු එවූ පන්දුව නැවත කඩුල්ලේ වැදුණත් බේල්ස් බිම නොවැටීමෙන් ඔහු නොදැවිණි.  ඒ ආසන්නයේම තවත් වරක් රැන්මෝ මාටිනස් ශ්‍රී ලංකා විනිසුරු කඩුල්ල මුවා කිරීමේ වරදට පිතිකරු නොදැවී ගිය බවට දුන් තීන්දුව නැවත ප්‍රතිරූපනයෙන් පෙන්වූයේ වම් කඩුල්ලේ පන්දුව වදින බවය.

නව නීති අනුව විනිසුරුගේ තීන්දුව මත එයද නොදැවී යාමක් විය.  තරග ආරම්භයේදීම ශ්‍රී ලංකාවට නැවත වතාවක් කාසියේ වාසිය අහිමිවිණි.  ශ්‍රී ලංකාව අවසාන වරට මීට මාස දෙකකට පෙර චැම්පියන් කුසලාන තරගාවලියේ දී ඉන්දියාව පරදා ජය ලැබුවේ කාසියේ වාසිය දිනා ඔවුන්ට මුලින් පන්දුවට පහරදීමට අවස්ථාවදී ලකුණු 300ක් ඉක්මවා හඹායාමෙනි.

ඉනදියාව ප්‍රසිද්ධියේ දැනට මීළඟ ලෝක කුසලානයට සුදානම් වන ආකාරය කීවත් 2019 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාව සතුවද දක්ෂ ක්‍රීඩකයන් සැඟව ඇති බව අමතක කළ යුතු නොවේ.  නිතර ඇද වැටුණු මැදපෙළ ශක්තිමත් කිරීමට අසේල ගුණරත්න, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල් හා ළහිරු තිරිමාන්නත් ප්‍රබලම වේගපන්දු යවන්නන් තිදෙනා නුවන් ප්‍රදීප් සුරංග ලක්මාල් හා නුවන් කුලසේකර ආබාධිත ලැයිස්තුවේත් පසුවෙති.

වර්ෂාව මත ඕවර 47කට සීමා වූ පල්ලේකැලේ තරගයේ ශ්‍රී ලංකාවේ 231ක ඉලක්කකය හඹායද්දී ශිකර් ධවාන් (49) සහ රෝහිත් ෂර්මා (54) ආරම්භක පිතිකරුවන් දෙදෙනා එක්කළ ලකුණු 109න් වඩා ආක්‍රමණශීලි වූ ෂර්මා පන්දු 45 ක දී ලකුණු 54 ලැබුවේ හයේ පහර තුනක් හා හතරේ පහක් සමගිනි.  12 වන ඕවරය යැවීමට ආ අකිල  ධනංජය කඩුල්ල මුවා කිරීමේ වරදට ෂර්මා දවාලීය.  සිරිවර්ධනගේ පන්දුවකට විශිෂ්ට උඩපන්දුවක් මැතිව්ස් අල්ලා ගැනීමෙන් අවදානම්
ශිකර් ධවාන් දැවී ගියේය.  ඉන්පසු කේදර් ජාදව් (01) විරාට් කෝලි (04) ලෝකේෂ් රාහුල් (04) හර්දික් පාන්ඩ්‍යා (00) හා අක්ෂාර් පතෙල් (06) අකිල ධනංජයගේ පන්දුවලට දැවීගියේ අඩු ලකුණු සංඛ්‍යාවකටය.  දෝනිගේ හා බුවනේෂ්වර් කුමාර්ගේ අටවන කඩුල්ලේ සබදතාව මතු වූයේ ඉන්පසුවය.

ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ලකුණු 121කට කඩුලු පහක් දැවී නැවතවරක් අඩු ලකුණු සංඛ්‍යාවට දැයී යන තත්ත්වයක් පෙන්නුම් කරද්දී හයවන කඩුල්ලට මිලින්ද සිරිවර්ධන (58) සහ චාමර කපුගෙදර (40) පන්දු 99ක දී ලකුණු 91ක් රැස් කළේ වැටී සිටි තත්ත්වයෙන් යම් සහනදායි ගොඩඒමකට කටයුතු කරමිනි.

ආරම්භක කඩුල්ලට නිරෝෂන් දික්වැල්ල (31) සහ ධනුෂ්ක ගුණතිලක (19) සුපුරුදු පරිදි වේගවත් ආරම්භයක් ලබාගත්තේ පන්දු 46ක දී (ඕවර 7.4) ලකුණු 41ක් ලබාගනිමින්ය.  දික්වැල්ල දවාලීමට ඉන්දියාව නොයෙක් උපක්‍රම යොදමින් අවසානයේ ඔවුන් එහි ප්‍රතිඵල නෙලා ගැනීමට සමත්වූයේ බුම්රාගේ උපක්‍රමයෙනි.  දෙවන කඩුල්ලට ගුණතිලක සමග කුසල් මෙන්ඩිස් (19) ඕවර 6.3කදී ලකුණු 29ක සබදතාවයක් ද පසුව ඇන්ජලෝ මැතිව්ස් පන්දු 41කදී ලකුණු 20ක්ද (හතරේ 2යි) රැස් කළත් ඉදිරි පෙළ පිතිකරුවන්ගෙන් ලැබුණු එම ලකුණු ප්‍රමාණයන් ප්‍රමාණවත් නොවීය.

ප්‍රබල දකුණත් පිතිකරුවන් දෙදෙනෙකු වන කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් දැවී ගියේ විකට්ටුවට කෙළින් එන පන්දු හරවා (ලෙග් සයිඩ්) පහර එල්ල කිරීමට උස්තහ දැරීමෙනි.

ලංකා කණ්ඩායම  යම් ස්ථාවර තත්ත්වයකට පත්කළ මිලින්ද සිරිවර්ධන පන්දු 58කදී හයේ පහරක් හතරේ දෙකක් සමග ලකුණු 58ක් ද චාමර කපුගෙදරපන්දු 61කදී හතරේ දෙකක් සමග ලකුණු 40ක්ද එක් කළහ.  මීට අමතරව වැඩිම ලකුණු ලාභීන් වූයේ නිරෝෂන් දික්වැල්ල (ලකුණු 31යි පන්දු 24යි හතරේ තුනයි) ධනුෂ්ක ගුණතිලක (ලකුණු 19යි පන්දු 37යි හතරේ 2යි) කුසල් මෙන්ඩිස් (ලකුණු 19යි පන්දු 48යි හතරේ 2යි) හා මැතිව්ස්ය. (ලකුණු 20යි) ඉන්දීය පන්දු යවන්නන් අතුරින් කැපී පෙණුනේ බුම්රා (ලකුණු 43ට කඩුලු  4යි) සහ හා චහාල්ය.  (ලකුණු 43ට කඩුලු 2යි)

– බන්දුල මොල්ලිගොඩ –

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-