ශ්‍රී ලංකාව තෙවන ටෙස්ට් තරගය ජයගෙන තරගාවලිය සමකරයි

Thanathillen Eha_1

බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි බාබඩෝස් බ්‍රිජ් ටවුන් කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් තෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු හතරක ජයක් අත්කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරගාවලිය තරග 1-1ක් ලෙස සමකර ගත්තේය.

කොදෙව් පිල මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 204ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී ලබාගත්තේ ලකුණු 154කි. කොදෙව් පිලට දෙවන ඉනිමේදී ලබාගත හැකිවුයේ ලකුණු 93ක් පමණෙකි. ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සදහා දෙවන ඉනිමේදී අවශ්‍ය වූයේ ලකුණු 144කි. තෙවන දින තරගය නිමවන විට ශ්‍රී ලංකාව දෙවන ඉනිමේදී ලකුණු 81කට ප්‍රබලම පිතිකරුවන් පස්දෙනා දැවී ලකුණු 81ක් පමණක් ලබා ජයග්‍රහණයට තවත් ලකුණු 64ක් අවශ්‍යව සිටියේය.

Jason Holder and Suranga Lakmal share the Sobers_Tissera Trophy with Sandals Barbados PR Manager David Hinds. © CWI Media/Randy Brooks of Brooks Latouche Photography

Jason Holder and Suranga Lakmal share the Sobers_Tissera Trophy with Sandals Barbados PR Manager David Hinds. © CWI Media/Randy Brooks of Brooks Latouche Photography

පසුදින (26) තරගය ආරම්භවූ විගසම කොදෙව් නායක ජේසන් හෝලඩර්ගේ ප්‍රථම ඕවරයේ අවසාන පන්දුවට ලංකා ප්‍රබලම පිතිකරු කුසල් මෙන්ඩිස් පෙරදින ලබා සිටි ලකුණු 25ටම කඩුල්ල මුවා කිරීමේ වරදට දැවීගියේ මුළු ලකුණු 81දී හයවන කඩුල්ල ලෙසටය. තෙවන දින හතරේ සීමාවේ පන්දු රකිද්දී පන්දුවක් රැකීමට දුවයද්දී හතරේ සීමාවෙන් පිටත කොන්ක්‍රීට් බැම්මක වැදී රෝහල් ගත කළ ලංකා ආරම්භක පිතිකරු කුසල් ජනිත් ජෙරේරාට එම අනතුරින් ආබාධයක් සිදු නොවී ඇති බව රෝහල් බලධාරීන් තහවුරු කිරීමෙන් පසුව සිව්වන දින කුසල් මෙන්ඩිස් දැවීයාමෙන් පසු පිටියට පිවිසියේය.

හත්වන කඩුල්ලට කුසල් ජනිත් පෙරේරා සහ දිල්රුවන් පෙරේරා නොදැවුණු ලකුණු 63ක් රැස්කරමින් ලංකා ජයග්‍රහණයේ නියමුවන් ලෙස ක්‍රියාකළහ. මෙහිදී කුසල් ජනිත් පන්දු 43කදී හතරේ දෙකක් සමග නොදැවී ලකුණු 28ක්ද දිල්රුවන් පන්දු 68කදී හතරේ තුනක් සමග නොදැවී ලකුණු 23ක් ලබා ලංකා පිල වෙනුවෙන් මහඟු සේවයක යෙදිණි.

ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් වන ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, දිමුත් කරුණාරත්න හා රංගන හේරත් වැනි පළපුරුදු ක්‍රීඩකයන්ගේ සේවාව නොමැතිව නව නායක සුරංග ලක්මාල්ගේ මෙහෙයවීමෙන් ලත් මේ සුවිශේෂි ජයග්‍රහණය පැසසිය යුතුවේ.

අවසාන තරගයේ වීරයා ලෙස ජේසන් හෝල්ඩර් ද තරගාවලියේ වීරයා ලෙස ෂේන් ඩොව්රිච් ද තේරිණි.

සෑම දිනකම මේ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවූ අතර සම්පූර්ණ තරගයම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාවීම ද විශේෂත්වයකි. ප්‍රථම දින (23) සිට අවසාන දිනය දක්වා පිතිකරුවන් තිස්හයක් දැවී ගියේ ලකුණු  595 ක් පමණක් එක්වද්දීය. කොදෙව් ඉනිම දෙකේදීම පිතිකරුවන් විස්සක් දැවී ඔවුන් ලබා ගත්තේ ලකුණු 297ක් පමණකි. ශ්‍රී ලංකාව ඉනිම දෙකේදී පිතිකරුවන් 16ක් දැවී රැස් කළේ ලකුණු 298කි. තරගයේ තුන්වන දිනයේ දී දෙපිලේම කඩුලු 20ක් දැවී ලැබූ ලකුණු සංඛ්‍යාව 229කි. කොදෙව් දේශයේ දී පිතිකරුවන් විශාල සංඛාවක් දිනකදී දැවී ගිය ප්‍රථම අවස්ථාව මෙය වේ.

2018 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සංචාරය යම්, යම් සිද්ධීන් මත විවිධ මාතෘකාවනට භාජනය වීය. හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රථම ටෙස්ට් තරගයෙන් පසු ආපසු සියරට ඒම රංගන හේරත් ප්‍රථම ටෙස්ට් තරගයෙන් පසුව ආබාධ මත දෙවන හා තෙවන ටෙස්ට් තරග දෙකට සහභාගි නොවීම කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට අවසාන ටෙස්ට් තරගයට සහභාගිවීමට අවස්ථාව නොලැබී වේගපන්දු යවන සුරංග ලක්මාල් නායකත්වයට පත්වීම එම අවස්ථාවන්ය.

බාබඩෝස්හි පැවැති අවසාන ටෙස්ට් තරගයෙන් කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම ඕවර 69.3කදී සියලු පිතිකරුවන් දැවී ලබාගත්තේ ලකුණු 204කි. ඔවුනගේ ප්‍රබලම කඩුලු පහ මුළු ලකුණු 53 වන විට දැවීගොස් සිටියදී ඩොවිච් (71) සහ නායක ජේසන් හෝල්ඩර් (74) හයවවන කඩුල්ලට ලකුණු 115ක් රැස් කරමින් කණ්ඩායම යම් ස්ථාවර තත්ත්වයකට ගෙන ආහ. මේ ඉනිමේ දී ළහිරු කුමාර කඩුලු හතරක්ද කසුන් රාජිත කඩුලු තුනක්ද දවාගත්හ.

ශ්‍රී ලංකාව මුල් ඉනිමේදී වරක් ලකුණු 75කට කඩුලු දෙකක් පමණ දැවී ප්‍රබල තත්ත්වයක පසුවුවත් ධනුෂ්ක ගුණතිලක (29) සහ කුසල් මෙන්ඩිස් (22) දැවීයාමෙන් ඉනිම කඩාවැටිණි. ඉනිම අග භාගයේ නිරෝෂන් දික්වැල්ල (42), දිල්රුවන් පෙරේරා (11) ලකුණු රැස්කරමින් ලකුණු 150 සීමාවට ළගාවිණි. නායක ජේසන් හෝල්ඩර් ඕවර 16ක් යවා ලකුණු 19කට කඩුලු 4ක් දවාලමින් මේ ඉනිමේ දස්කම් පෑවේය. කොදෙව් දෙවෙනි ඉනිම නායක ලක්මාල්, කසුන් රාජිත හා ළහිරු කුමාරගේ විශේෂ දක්ෂතා මත ලකුණු 93කට සීමා විණි. ඔවුන් වරක් ලකුණු 56කට කඩුලු අටක්ම දැවී සිටියහ.

බටහිර ඉන්දීය කොදෙව් දූපත් මුල් ඉනිම 204 (ඕවර 69.3යි)

එස්.ඒ.ඩොවිච් 71, ජේසන් හෝල්ඩර් 74, ළහිරු කුමාර 58ට 4 කසුන් රාජිත 68ට 3 සුරංග ලක්මාල් 52ට 2

ශ්‍රී ලංකාව මුල් ඉනිම 154යි. (ඕවර 59යි)

ධනුෂ්ක ගුණතිලක 29, කුසල් මෙන්ඩිස් 22, නිරෝෂන් දික්වැල්ල 42, ජේ.හෝල්ඩර් 19ට 4, ගේබ්රියල් 52ට 3, කිමාර් රෝච් 30ට 2

බටහිර ඉන්දීය කොදෙව් දූපත් දෙවන ඉනිම 93යි.

කිමාර් රොච් 23, ෂේන් ඩොවිච් 16, ජේසන් හෝල්ඩර් 15, සුරංග ලක්මාල් 25ට 3 කසුන් රාජිත 20ට 3, ළහිරු කුමාර 31ට 2යි.

ශ්‍රී ලංකාව දෙවන ඉනිම කඩුලු හයට ලකුණු 144යි.

ධනුෂ්ක ගුණතිලක 21,ධනංජය ද සිල්වා 17, කුසල් මෙන්ඩිස් 25, කුසල් ජනිත් පෙරේරා නොදැවී 28, දිල්රුවන් පෙරේරා නොදැවී 28, ජේසන් හෝලඩර් ලකුණු 41ට කඩුලු 5යි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-