ශ්‍රී ලංකාව පස්වන තරගය කඩුලු පහකින් ජයගනී

Thanathillen-Eha_3

ශ්‍රී ලංකා – පාකිස්තාන වයස අවුරුදු 19න් පහල එක්දින ක්‍රිකට් තරගාවලියේ බදාදා (05) පැවැති පස්වන එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු පහකින් ජයලැබීය. හම්බන්තොට සූරියවැව දී පැවැති තරග පහකින් යුත් මේ තරගාවලිය මෙදින නිමාවට පත්වූයේ පාකිස්තානයට තරග 3-2 ජයක් හිමිවීමෙනි.

පස්වැනි එක්දින තරගයේදී පාකිස්තානය ඕවර 50අවසානයේ කඩුලු හතකට ලබාගත් ලකුණු 264ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 46.5කදී කඩුලු පහකට ලකුණු 267ක් ලබාගනිමින් මෙම ජයග්‍රහණය ලැබීය.

ලකුණු 265ක ඉලක්කය බැලු බැල්මට තරුණ පිතිකරුවනට අසීරු බවක් පෙන්නුම් කළත් ලංකා පිතිකරුවන් ප්‍රථම ඕවරයේ සිටම ඕවරයකට ලකුණු පහ සහ හය බැගින් ලබා ගනිමින් පහසුවෙන් ජයග්‍රහණය කරා පිය නැගූහ. මෙහිදී වඩාත් කැපී පෙනුණු පිතිකරුවන් දෙදෙනා වූයේ නායක කමිල් මිෂාර(87) සහ රවිදු රසන්තය(85) මොවුන් දෙදෙනා ශ්‍රී ලංකා තෙවන කඩුල්ලට ඕවර 21කදී ලකුණු 132ක් රැස් කළහ.

Pakistan Under 19s_DSC_5523

වඩාත් ආක්‍රමණශීලී පිතිකරුවා වූ රවිදු රසන්ත හතරේ 13ක් සමග ලකුණු 85ක් රැස් කළේ පන්දු 67කට පමණක් මුහුණදීමෙනි. රවිදුගේ වේගවත් පිතිහරඹය ඉනිම ආරම්භයේදීම ලංකා ජයග්‍රහණය සදහා මං මාවත් විවෘත කැරිණි. නායක කමිල් මිෂාර නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 118කදී හතරේ පහක් සමග ලකුණු 87ක් ලැබීය. කලින් තරග කිහිපයේදීම ලකුණු අතර සිටි අවිශ්ක තරිදු පන්දු 40කදී නොදැවී ලකුණු 40ක් ලැබූවේ හතරේ පහක් සමගය.

පාකිස්තාන කණ්ඩායම වෙනුවෙන් බසිට් අලි 56ක්ද හැරිස් ඛාන් 54ක්ද කසිම් අක්රම් 51ක්ද ලබා අර්ධ ශතක රැස් කළහ. ආරම්භක පන්දු යවන දිල්ෂාන් මධුශංඛ ලකුණු 45කට කඩුලු තුනක් දවාලූවේය.

ශ්‍රී ලංකා 19න් පහළ නායක කමිල් මිෂාර පස්වන තරගයේ වීරයා ලෙසත් පාකිස්තාන නායක රොහේල් නසීර් තරගාවලියේ වීරයා ලෙසත් තේරිණි.

  • පාකිස්තාන අවුරුදු 19න් පහළ පිල ඕවර 50දී කඩුලු 7ට 264යි.

මොහොමඩ් බසිට් අලි 56, රොහේල් නසීර් 41, හැරිස් ඛාන් 54, කසීම් අක්රම් 51යි, දිල්ෂාන් මධුශංඛ 45ට 3යි.

  • ශ්‍රී ලංකා 19න් පහළ පිල ඕවර 46.5 දී කඩුලු 5ට 264යි.

කමිල් මිෂාර 87, රවිදු රසන්ත 85, අවිශ්ක තරිදු නොදැවී 40යි,අභිෂේක් කහතුඩුවආරච්චි 18යි,ශිරාෂ් කාන් 47ට 2යි, මොහොමඩ් වසිම් 39ට 2යි.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-