ශ්‍රී ලංකාව ලකුණු 199කින් ජයගනී

Thanathillen Eha_1

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර එස්.එස්.සී.ක්‍රීඩාංගණයේ පැවැති දෙවන පස්දින ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 199කින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව තරගාවලිය 2-0කින් ජයගෙන හීරෝ කුසලානය ද දිනාගත්තේ දින එකහමාරක් තවත් තරගය ඉතිරිව තිබිදීය. මේ පස්දින තරගය සිව්වන දිනයේ සවස 1.22ට නිමාවට පත්විය.

ලකුණු 490ක ජයග්‍රහණ ඉලක්කයක් දෙවන ඉනිමේදී හඹාගිය දකුණු අප්‍රිකා සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 290කි. මේ ලකුණු සංඛ්‍යාව දකුණු අප්‍රිකාව මෙවර ශ්‍රී ලංකා සංචාරයේ ඉනිමකදී ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර ඉනිමක ඔවුන් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාව ගාල්ලේදී මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 126වේ.

දකුණු අප්‍රිකා පිලට දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේදී ලකුණු 290ක් වැනි සංඛ්‍යාවකට යාමට ප්‍රධානම හේතුව වූයේ අංක 3 පිතිකරු තෙයුනිස් ඩි බෲයින් ලබාගත් ලකුණු 101යි. අංක තුන පිතිකරු ස්ථානයට පැමිණ අටවන කඩුල්ල ලෙස දැවීයන තෙක් කඩුල්ලේ රැදී සිටීමෙන් ඔහුගේ පෞද්ගලික ලකුණු සංඛ්‍යාව පමණක් නොව තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාවද (290) ගෞරවනීය තත්ත්වයතට ගෙන ඒමට ඔහුට අවස්ථාව ලැබිණි. බෲයින් සමග ටෙම්බා බවුමා හයවන කඩුල්ලට ලකුණු 123ක් රැස් කළ අතර එය දකුණු අප්‍රිකා කණ්ඩායමක් ආසියානු රටකදී හයවන කඩුල්ලට එක්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

Sri Lanka Test Team celebrating their series win against South Africa_D3S5596x

ටෙස්ට් තරගාවලියේ වීරයා ලෙසත් දෙවන ටෙස්ට් තරගයේ වීරයා ලෙසත් සම්මාන දිනාගත්තේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්නය. ටෙස්ට් තරග දෙනේ ඉනිම හතරේදී දිමුත් ලකුණු 356ක් ලබා ඉනිමක සාමාන්‍ය ලකුණු 119ක් ලබා සිටී.(ගාල්ලේ දෙවන ඉනිම නොදැවී)

මේ ජයග්‍රහණයත් සමග සුරංග ලක්මාල්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාව සහභාගිවූ ටෙස්ට් තරග තුනේම ජය දැන් ශ්‍රී ලංකාවට හිමිව තිබේ. ශ්‍රී ලංකාව මෙවර දකුණු අප්‍රිකාව තරගාවලියකින් පරාජය කළේ වසර එකළෙහකට පසුවය.

දකුණු අප්‍රිකා කණ්ඩායම දෙවන ඉනිමේදී ලකුණු 290කට දවාලීමට නියමුවා වූ රංගන හේරත් ලකුණු 98කට කඩුලු හයක්ම දවාලූවේය. 40 හැවිරිදි රංගන හේරත් ඉනිම දෙකේදී ලකුණු 130කට කඩුලු හතක් දවාලීමට සමත්විය. ලබන සැප්තැම්බරයේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා රංගන හේරත් එස්.එස්.සී පිටියේ දී සහභාගි වූ අවසාන ටෙස්ට් තරගය මෙයවේ. ටෙස්ට් තරග 92කට සහභාගිවී සිටින රංගන මේ දක්වා ටෙස්ට් කඩුලු 430ක් දවා සිටී.

තරගයෙන් පසුව ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් පෙර පුහුනුව මේ තරගාවලියේ ජයග්‍රහණයට ප්‍රධාන හේතුව වූ බවත් දකුණු අප්‍රිකාව දග පන්දු වලට මුහුණ දීමට දක්වන දුර්වලතාවය අප මුල සිටම දැන සිටි බවත් කීවේය.

තරගයේ හා තරගාවලියේ වීරයා වු ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න කීවේ දිගු කළක් හොදින් පුහුණු වීමේ ප්‍රතිඵල තමාට මේ තරගාවලියේ ලැබුණු බවත් කණ්ඩායම ජයග්‍රහණය කිරීමේ අරමුණින් තමා පන්දුව‍ට පහර දෙන නිසා එය කණ්ඩායමට රුකුලක් වූ බවත්ය. තම අරමුණ දැනට ශතක අටක් ලබා සිටින තමාට එය ශතක 22 -25 දක්වා වැඩි කර ගැනීම බව දිමුත් පැවසීය.

දකුනු අප්‍රිකා නියක ෆෆ් ඩූ ප්ලෙසි කීවේ උප මහද්වීපයේ ක්‍රීඩා කරන ඉන් පිටත ඕනෑම රටකට දගපන්දු වලට  මුහුණ දීමේ අවාසිය තිබෙන බවත් ටෙස්ට් තරග වර්තමානයේ ඉක්මණින් නිමවීම දැන් සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබෙන බවද කීවේය. ආර්ථික ප්‍රශ්න මත ටෙස්ට් තරග ඉදිරියේ සීමාවනු ඇතැයි තමා පුද්ගලිකව සිතන බවද හේරත් කීය.

තෙයුනිස් ඩි බෲයින් ප්‍රකාශ කළේ තමා කෙරෙහි විශ්වාස තබා පන්දුවට පහරදීම සහ නායකයාගේ උපදෙස් පිළිපැදීම මත තමන්ට ශතකයක් ලබා ගැනීමට හැකිවූ බවය.

තෙයුනිස් ඩි බෲයින් (ලකුණු 101යි පන්දු 232යි හතරේ 12යි) සහ ටෙම්බා බවුමා (ලකුණු 63යි පන්දු 98යි හතරේ 4යි) හයවන කඩුල්ලට ලැබු ලකුනු 123 තරගාවලියේ හොදම සබදතාව ලෙස වාර්තා විණි. හේරත් ලකුණු 98කට කඩුලු හයක්ද දිල්රුවන් පෙරේරා ලකුණු 90කට කඩුලු දෙකක්ද දවාලූහ.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-