ශ්‍රී ලංකාව ලකුණු 34කින් ජයගනී

Thanathillen-Eha_3

ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර එංගලන්තයේ කාඩිෆ්හි සොෆියා ගාඩ්න්ස් ක්‍රීඩාංගණයේ පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නන් දෙදෙනා වන නුවන් ප්‍රදීප්ගේ (ලකුණු 31ට කඩුලු 4යි) සහ ලසිත් මාලිංගගේ (ලකුණු 39ට කඩුලු තුනයි) දක්ෂ පන්දු යැවීම මත ඩක් වර්ක් ලුවිස් ක්‍රමයට ශ්‍රී ලංකාවට ලකුණු 34ක ජයග්‍රහණයක් අත්විය.

ශ්‍රී ලංකාව ඕවර 36.5කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබා ගත්තේ ලකුණු 201කි. මේ අවස්ථාවේ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවී ඩක් වර්ක් ලුවිස් ක්‍රමයට ජයග්‍රහණය සදහා ඇෆ්ගනිස්ථානයට අවශ්‍යවූයේ ඕවර 41කදී ලකුණු 187කි. නුවන් ප්‍රදීප් ඇෆ්ගනිස්ථාන මුල් පෙළ දවාලීමෙන් පසුවද තරගයේ වාසිය දෙපැත්තටම වරින් වර මාරුවෙමින් පැවැතිණි. අවසාන ඕවර කිහිපයේදී ලසිත් මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ ලංකා පිලට ජය අත්විය. අත්‍යවශ්‍ය කරුණක් වූ කාසියේ වාසිය හිමිවූයේ ඇෆ්ගනිස්ථානයටය.

Lasith Malinga_D3S9106x

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහර දෙද්දී මුල් විකට්ටුවට නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා ඕවර 13කදී ලකුණු 91ක්ද (ලකුණු හතක සාමාන්‍යයක්) දෙවැනි විකට්ටුවට කුසල් ජනිත් සහ ළහිරු තිරිමාන්න ඕවර 8.3කදී තවත් ලකුණු 52ක්ද (ලකුණු 6.5ක සාමාන්‍යක්ද) ලැබූවේ කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබාදෙමිනි. මේ අවස්ථාවේ මොහොමඩ් නබීගේ විශිෂ්ට දඟ පන්දු යැවීම හමුවේ ලංකා කණ්ඩායමේ අවසාන කඩුලු අටම ලකුණු 57ක් ලබද්දී දැවී ගියේ ඕවර 15.3ක් තුළදීය. මෙහොමඩ් නබී එකම ඕවරයේ දෙවැනි පන්දුවට තිරිමාන්නත් (25) සිව්වැනි පන්දුවට කුසල් මෙන්ඩිස් ද (02) හයවැනි පන්දුවට ඇන්ජලෝ මැතිව්සද (00) දවාලමින් තරගයේ ස්වරූපය වෙනස් කළේය.

21 වන ඕවරය වන විට ශ්‍රී ලංකාව කඩුල්ලකට ලකුණු 144ක් ලබා පහසුවෙන් ලකුණු 300 ඉක්මවන තත්ත්වයක සිටියත් නොසිතූ අයුරින් ක්ෂණිකව අවසාන කඩුලු නවයම බිඳවැටිණි. ඉතාමත් හොඳ ආරම්භයක් කණ්ඩායමට ලබා දුන් කුසල් ජනිත් පෙරේරා පන්දු 81කදී හතරේ අටක් සමග ලකුණු 78ක්ද දිමුත් කරුණාරත්න පන්දු 45කදී හතරේ තුනක් සමග ලකුණු 30ක්ද ළහිරු තිරිමාන්න පන්දු 34කදී හතරේ පහරක් සමග ලකුණු 25ක්ද ලබා ගත්හ.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් හස්රෆුල්ලා‍ හසායි (ලකුණු 30යි පන්දු 25යි හතරේ තුනයි) නජිබුල්ලා සඩ්රන් ලකුණු 43ක්ද (පන්දු 56යි හතරේ හයයි) ලැබූහ.

  • ශ්‍රී ලංකාව ඕවර 36.5කදී 201යි.

කුසල් ජනිත් පෙරේරා 78යි, දිමුත් කරුණාරත්න 30යි, ළහිරු තිරිමාන්න 25යි,මොහොමඩ් නබී 30ට 4,රෂිඩ් කාන් 17ට 2යි.

  • ඇෆ්ගනිස්ථානය ඕවර 32.4 දී 152යි

නජිබුල්ලා 43යි, හස්රෆුල්ලා 30යි, නුවන් ප්‍රදීප් 31ට 4යි, ලසිත් මාලිංග 39ට 3යි.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-