ශ්‍රී ලංකාව ලකුණු 35කින් ස්කොට්ලන්තය පරාජය කරයි

Thanathillen-Eha_3

ශ්‍රී ලංකාව හා ස්කොට්ලන්තය අතර එඩින්බර්ග්හිදී ඊයේ (21) පැවැති සීමිත ඕවර ක්‍රිකට් තරගයේදී ශ්‍රී ලංකාව ඩක් වර්ත් ලුවිස් ක්‍රමයට ලකුණු 35ක ජයක් ලැබීය.

පසුගිය එක්දින ක්‍රිකට් තරග අටක්ම පරාජයට පත්ව සිටි ශ්‍රී ලංකාව මේ ජයග්‍රහණයත් සමග එම පරාජයන්ට ළක්වීම නතර විය. ශ්‍රී ලංකාව ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලබාගත් ලකුණු 322ට පිළිතුරු ලෙසින් ස්කොට්ලන්තය පන්දුවට පහර දෙද්දී කඩුලු තුනකට ලකුණු 132ක් ලබා සිටියදී වර්ෂාව පතිතවිය. වර්ෂාවෙන් පසු තරගය නැවත ආරම්භවන විට ස්කොට්ලන්තයට ඕවර හතකදී ලකුණු 103ක් ජයග්‍රහණයට අවශ්‍යවිය. ජයග්‍රහණයට ඔවුනට ලකුණු 235ක් අවශ්‍ය වුවත් ඕවර 33.2කදී සියලු ක්‍රීඩකයන් දැවී ගියේ ලකුණු 199කටය.

තරග 2-0ක එක්දින තරගාවලියේ මේ ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාවට තරග 1-0ක ජයක් අත්විය. 18වැනිදා ප්‍රථම එක්දින තරගය වර්ෂාව මත නොපැත්විණි. දෙවන තරගයේදී ලකුණු 34කට කඩුලු 4ක් දවාලූ නුවන් ප්‍රදීප් තරගයේ වීරයා ලෙස නම් කැරිණි.

කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තය මුලින් පන්දුවට පහර දීම ශ්‍රී ලංකාවට පැවැරීය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් දෙදෙනා නායක දිමුත් කරුණාරත්න සහ අවිශ්ක ප්‍රනාන්දු ආරම්භක කඩුල්ලට ලකුණු 123ක් රැස්කළේ ඕවරයකට සාමාන්‍ය ලකුණු 5.5ක් වන ලෙසටය මුල් විකට්ටුව ලෙස අවිශ්ක ප්‍රනාන්දු 123දී දැවී ගිය පසු දිමුත් සහ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ලට ඕවර 11.2කදී ලකුණු 81ක් රැස්කළේ ඕවරයකට සාමාන්‍ය ලකුණු 7.1ක් වැනි වේගයකිනි. ලංකා පිල ඕවර 33.3කදී ලකුණු 204ක් ලබා සිටින විට දිමුත් කරුණාරත්න දෙවන කඩුල්ල ලෙස ලකුණු 77ක් ලබා සිටියදී දැවීගියේ කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමිනි.

ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නායකත්ව ඉනිමක් ක්‍රීඩාකරමින් 34වන ඕවරය තෙක් කඩුල්ලේ රැදී ලකුණු 77ක් ලැබුවේ පන්දු 88කට මුහුණ දී හතරේ හතක් සමගිනි. දිමුත් දැවී යන අවස්ථාවේ ලංකා කණ්ඩායම ඕවරයකට සාමාන්‍ය හයක වේගයකින් ලකුණු රැස් කළ අතර මැදපෙළ පිතිකරුවන්ට වේගය වැඩිකිරීමට අවස්ථාවක් උදාවූයේ නම් ලංකා පිලට ලකුණු 350කට ආසන්න සංඛ්‍යාවකට යාමට අවස්ථාව තිබිණි.

අනෙක් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පන්දු 78කට මුහුණදී හතරේ පහක් හා හයේ තුනක් සමග ලකුණු 74ක්ද අංක තුන පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 56කදී හතරේ හතරක් හයේ තුනක් සමග ලකුණු 66ක්ද රැස් කළහ. දෙවන කඩුල්ල දැවීයාමෙන් පසුව තිසර පෙරේරා (00) ප්‍රථම පන්දුවටත් ඇන්ජලෝ මැතිව්ස් (01) ධනංජය ද සිල්වා (07) අඩු ලකුණු සංඛ්‍යාවන්ට දැවී යාමෙන් පසු ලංකා පිල ඕවර 44.4කදී කඩුලු හයක් දැවී ලකුණු 258ක් පමණක් ලබා තරමක අසීරු තත්ත්වයකට පත්විණි.

අවසාන ඕවර පහේදී අගපෙළ පිතිකරුවන් ලකුණු 66ක් රැස් කිරීම මත ලංකා පිලට ලකුණු 322ක් වැනි ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යාමට (ඕවරයකට සාමාන්‍ය ලකුණ 6.44ක්) අවස්ථාව සැළසිණි. මෙහිදී වඩාත් කැපී පෙනුණු මැදපෙළ පිතිකරු ළහිරු තිරිමාන්න පන්දු 40කදී හතරේ තුනක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 44ක්ද පසුව පැමිණි ඉසුරු උදාන පන්දු හතකදී හයේ දෙකක් සමග ලකුණු 15ක්ද සුරංග ලක්මාල් පන්දු හතරකදී හයේ පහරක් හතරේ පහරක් සමග නොදැවී ලකුණු 12ක්ද ජීවන් මෙන්ඩිස් පන්දු අටකදී හයේ පහරක් හතරේ පහරක් සමග 13ක්ද ලබාගත්හ.

ලකුණු විස්තරය

  • ශ්‍රී ලංකාව ඕවර 50කදී කඩුලු 8ට 322යි.

දිමුත් කරුණාරත්න 77, අවිශ්ක ප්‍රනාන්දු 74, කුසල් මෙන්ඩිස් 66, ළහිරු තිරිමාන්න නොදැවී 44යි,බී.වේල් 49ට 3යි.

  • ස්කෝට්ලන්තය ඕවර 33.2කදී සියලු ක්‍රීඩකයන් දැවී 199යි

එම්.ක්‍රොස් 55, එච්.මුන්සෙ 61, කේ.කොට්සර් 34,නුවන් ප්‍රදීප් 34ට 4,සුරංග ලක්මාල් 55ට 2

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-