ශ්‍රී ලංකාව 20-20 තරගයත් ජය ගනී

Thanathillen Eha_1

ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අගහරුවාදා (14) රාත්‍රි පැවැති ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා 20-20 තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු තුනක ජයග්‍රහණයක් ලැබූවේ තවත් පන්දු 24ක් ඉතිරිව තිබිදිය.

දකුණු අප්‍රිකාව ඕවර 16.4කදී සියලු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 98ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ඕවර 16කදී කඩුලු හතක් දැවී ලකුණු 99ක් ලබා මේ ජයග්‍රහණය අත්කර ගැනීමට සමත්විය.

ලංකා කණ්ඩායමේ මේ ජයග්‍රහණයත් සමගම දකුණු අප්‍රිකා කණ්ඩායමේ 2018 ශ්‍රී ලංකා සංචාරය නිමාවට පත්විණි. දෙරට අතර අවසාන එක්දින තරග දෙක සහ 20-20 තරගයත් සමග අවසාන තරග තුනේම ජය අත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමටය.

අගහරුවාදා (14) පැවැති 20-20 තරගය ජයගැනීමට ලංකා පිලට ලකුණු 99ක පහසු ජයග්‍රහණ ඉලක්කයක් ලැබුණු අවස්ථාවේ ඉක්මණින් ඊට ළගාවීමට උත්සහ දැරීම මත කඩුලු වැඩි සංඛ්‍යාවක් (7) අහිමි කර ගනු දක්නට ලැබිණි.

Sri Lanka Team T20I Champions_D4W3914x

පසුගිය බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් තරගයට පසුව ක්‍රිකට් පිටියට පිවිසි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල් 20-20 තරගයේදී විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් පන්දු 33කදී හතරේ තුනක් හා හයේ පහරක් සමග නොදැවී ලකුණු 36ක් ලබා ගනිමින් ලංකා ජයග්‍රහණයට ප්‍රධානම දායකත්වය ලබා දුන්නේය. ධනංජය ද සිල්වා පන්දු 26කදී හයේ දෙකක් හතරේ හතරක් සමග ලකුණු 31ක් ලැබූ අතර ඔහු තරගවය් වීරයා ලෙස තේරිණි. දසුන් ශානක පන්දු 16කදී ලකුණු 16ක් ලැබූවේ හතරේ හතරක් සමගිනි.

සෙසු පිතිකරුවන් කුසල් ජනිත් පෙරේරා (03) කුසල් මෙන්ඩිස් (01) ඇන්ජලෝ මැතිව්ස් (00) තිසර පෙරේරා (00) අකිල ධනංජය (02) හා ඉසුරු උදාන (නොදැවී 05) දැවී ගියේ අඩු ලකුණු සංඛ්‍යාවන්ය. රබඩා ලකුණු 25කට කඩුලු 2ක්ද ෂම්ෂි ලකුණු 26කට කඩුලු දෙකක්ද දවාලූහ.

දකුණු අප්‍රිකා සියලුම ක්‍රීඩකයන් ඕවර 16.4ක් තුළ දැවීගියේ මිනිත්තු 77ක කාලයක් ඇතුළතදීය. ඔවුනගේ ඉනිමටම අයත්වූයේ හතරේ දහයක් සහ හයේ පහර දෙකක් පමණකි.මෙය 20-20 තරගයක දකුණු අප්‍රිකාව ලැබූ අඩුම ලකුණු සංඛ්‍යාවද වේ.

ශ්‍රී ලංකාව මේ තරගයට අකිල ධනංජය, ලක්ෂාන් සදකැන් සහ ධනංජය ද සිල්වා යන දග පන්දු යවන්නන් තිදෙනකු නම් කළ අතර දකුණු අප්‍රිකා ඉදිරිපෙළ පිතිකරුවන් හත්දෙදෙකුම දැවී ගියේ මේ පන්දු යවන්නන් තිදෙනාටය.මෙහිදී ලක්ෂාන් සදකැන් ලකුණු 19කට කඩුලු තුනක්ද, ධනංජය ද සිල්වා ලකුණු 22කට කඩුලු දෙකක්ද, අකිල ධනංජය ලකුණු 15කට කඩුලු දෙකක්ද දවාලූහ. කසුන් රාජිත ලකුණු 27කට කඩුල්ලක් හා ඉසුරු උදාන ලකුණු නවයකට කඩුල්ලක් ලබා ගත්හ.

දකුණු අප්‍රිකා කණ්ඩායමේ නායක කුයින්ටන් ඩි කොක් ලකුණු 20ක් ලැබූ අතර එකම පිතිකරුවකුටත් ලකුණු විස්ස ඉක්මවා ලබා ගත හැකි නොවීය. සෙසු පිතිකරුවන් රැස් කළේ අම්ලා (00) හෙන්රික්ස් (19) ඩුමනි (03) ක්ලැසන් (18) මිලර් (14) ෆෙලුක්වායෝ (00) රබඩා (00) ඩලා (නොදැවී 12) එන්ගිඩි (04) ටී.ෂම්සි (00)ය.

ඔවුනගෙ ලකුණු රැස් කිරීමේ වේගය 5.88ක්වූ අතර ලකුණු රැස් කළේ ඕවර හයකදී කඩුලු තුනකට ලකුණු 48ක්ද ඕවර 10දී කඩුලු 4කට ලකුණු 69ක්ද ඕවර 15දී කඩුලු 8කට ලකුණු 89ක්ද වශයෙනි.

තරග හයක තහනමකට ලක්ව සිටි දිනේෂ් චන්දිමාල් මේ තරගයට නම් කර තිබිණි.ඊට අමතරව ඉසුරු උදාන, ලක්ෂාන් සදකැන් හා කසුන් රාජිතද කණ්ඩායමට අලුතින් එක්විය.මේ තරගය නැරඹීමට කළකට පසු ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය පිරෙන්නටම ජනකාය පැමිණ සිටීම විශේෂත්වයකි.

තරගයෙන් පසුව, තරගයේ වීරයා ලෙස නම් කෙරුණු ධනංජයද සිල්වා ප්‍රකාශ කළේ තම ටෙස්ට් තරග,එක්දින හා 20-20 තරග 3දීම ක්‍රීඩා කර දස්කම් පෙන්වා ඇති බවත් මේ තරගවල ඕනෑම ස්ථානයක ක්‍රීඩා කිරීමට තමන් කැමැති බවත්ය.

බන්දුල මොල්ලිගොඩ