ශ්‍රී ලංකා ‘ඒ’ කඩුලු හයකින් ජයගනී

Thanathillen-Eha_3

ඉන්දියාවේ පැවැත්වෙන ශ්‍රී ලංකා ‘ඒ’ ඉන්දීය ‘ඒ’ තරග පහක එක්දින තරගාවලියේ සඳුදා (10) පැවැති තෙවන එක්දින තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඩක් වර්ත් ලුවිස් ක්‍රමයට කඩුලු හයක ජයග්‍රහණයක් අත්කර ගත්තේය.

ඉන්දීය ‘ඒ’ කණ්ඩායම කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදී ඕවර 50 අවසානයේ කඩුලු අටකට ලකුණු 291ක් ලැබීය. ශ්‍රී ලංකා ‘ඒ’ පන්දුවට පහර දෙන අවස්ථාවේ වර්ෂාව මත තරගය නතර කළ පසු ඩක් වර්ත් ලුවිස් ක්‍රමයට ලංකා පිලට ජයග්‍රහණය සදහා ඕවර 46කදී ලකුණු 266 ක ඉලක්කයක් ලැබිණි. ඕවර 43.5ක් වන විට කඩුලු 4කට ලකුණු 266ක් ලබා ශ්‍රී ලංකාව තරගය ජයග්‍රහණය කළේය. වර්ෂාව මත තරගය නතර කරන විට ලංකා ‘ඒ’ කණ්ඩායමේ ලකුණු තත්ත්වය ඕවර 40කදී කඩුලු 4කට ලකුණු 220කි.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ශ්‍රී ලංකා කණ්ඩායමේ චාමික කරුණාරත්න ඕවර දහයක් යවා ලකුණු 35කට කඩුලු පහක්ම දවාලීමෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු 291කට සීමා කර ගැනීමට අවස්ථාව උදාවිණි.මේ තරගයේ වීරයා සම්මානය හිමිවූයේ චාමික කරුණාරත්නටය.

ඉන්දීය ‘ඒ’ පන්දුවට පහරදෙන අවස්ථාවේ පී.චොප්රා පන්දු 125කදී හතරේ 17ක් සමග ලකුණු 129ක්ද ඩි.හුඩා පන්දු 64කදී හතරේ තුනක් සමග ලකුණු 53ක්ද ලැබූහ.තෙවන කඩුල්ලට මොවුන් දෙදෙනා එක්කළ ලකුණු ප්‍රමාණය 109කි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 62ක්ද (පන්දු 58යි හතරේ 10යි) සංගීත් කුරේ ලකුණු 88ක්ද (පන්දු 103යි හතරේ 10යි හයේ 2යි) දසුන් ෂානක නොදැවී ලකුණු 36ක්ද (පන්දු 22යි හතරේ 1යි හයේ තුනයි) ලබා ගත්හ.තෙවන කඩුල්ලට ජයසූරිය සහ කුරේ ලකුණු 110ක්ද පස්වන කඩුල්ලටජයසූරිය සහ දසුන් ශානක ඕවර 6.1කදී නොදැවී ලකුණු 64ක්ද රැස් කළහ. ප්‍රථම හා දෙවන තරගවල ශතක ලැබූ ෂෙහාන් ජයසූරිය මෙදින නොදැවී 66ක් ලැබීම විශේෂත්වයකි. මේ තරගාවලියේ ඉන්දියාව දැනට 2-1කින් ඉදිරියෙන් සිටී.

ලකුණු පුවරුව

  • ඉන්දීය ඕවර 50දී කඩුලු 8ට 291යි.

පී.චොප්රා 129යි, ඩි.හුඩා 53යි,චාමික කරුණාරත්න 36ට 5යි.

  • ශ්‍රී ලංකා ඕවර 43.5දී කඩුලු 4ට 266යි.

නිරෝෂන් දික්වැල්ල 62යි.සංගීත් කුරේ 88යි, ෂෙහාන් ජයසූරිය නොදැවී 66යි, දසුන් ශානක නොදැවී 36යි, එස්.ඩුබෙ 27ට 2යි.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-